‘‘මෙම වසර අවසන් වන තුරු ඉන්ධන මිල වෙනස් කරන්නේ නෑ‘‘


(ඩයනා උදයංගනී)

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ යා හැකි නමුත් මෙරට තෙල් මිල මෙම වසර අවසන් වන වැඩි කරන්නේ නැතියි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
දැනට පවතින තෙල් මිල මෙම වසර අවසන් වන තුරු ස්ථාවරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
ලෝක වෙළඳපලෙහි තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට චෝදනා එල්ල වන නමුත් දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20 ක හා පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පාඩුවක් දැරීමට සිදුවන බව ඇමතිවරයා කීවේය.
 
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේදී අද  (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපල ඉන්ධන මිල අඩුවන විට අඩුවන සේම වැඩිවන විට වැඩිවන බව කී ඇමතිවරයා එයින් සාමාන්‍ය ජනතාවට වාසියක් නොලැබෙන බව ද පැවසීය.

ඉන්ධන මිල අඩු වන විට එහි සහනය පොදු ප්‍රවාහන ඇතුළු බොහෝ අංශයන්ගෙන් ජනතාවට නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.