‘‘මහ මැතිවරණයට පසු පළාත් සභා මැතිවරණයට සූදානම්‘‘


(කාංචන කුමාර ආරියදාස)

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා  මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(29) පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බියේ එදා සිට අද දක්වා පසුවන බවත් වර්තමාන  ආණ්ඩුව මැතිවරණ වලට බිය නොමැති බවත් කොරෝනා වසංගතය ලොව පුරා වෙලාගත් වසංගතයක් බව පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දඹුල්ල මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කරන කසල ප්‍රතිචක්‍රී කරනය ව්‍යාපෘතිය යටතේ නිපදවන කාබනික පොහොර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල නගර මධ්‍යයේ ආරම්භ කිරීමේ අවස්ථාවට  එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී අමාත්‍ය ජනක   බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය බලය පැවති කාලයේ පවා මැතිවරණ වලට බිය දැක්වූ බවය. 

එක්සත් ජාතික පක්ෂයත් මේ වනවිට නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය දෙකට සුනු විසුනු වී හමාර යැයි හෙතෙම පැවසීය.
 
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා  රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර ගත කිරීමෙ සිද්දිය පිලිබදව   මාධ්‍ය හමුව තැබීමටවත් නිදහසක් නොමැති ව මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාර කරන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයා ගෙන් විමසීමක් කළහ.
 
ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ව්‍යාජ රැවුල් කරුවන් රැගෙන විත්   එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභූත චෝදනා නැගූ බව සජිත්  ප්‍රේමදාස වැනි අයෙකු කරන ලද ප්‍රකාශ වලට පිලිතුරක් දීමට තමා වැනි අයෙකු නුසුදුසු බවද හෙතෙම සඳහන් කළේය.
 
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කරන එක පරම ශක්තියක් බවත් එය ජනතාව දන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂයේ උදවිය කන්න අවශ්‍ය වූ විට කබරගොයා තලගොයා කර ගෙන කොරෝනා  සිද්ධිය හුවා දක්වමින් මැතිවරණ කල් දමා ගැනීමේ උත්සාහයක නිරතවන බවද හෙතෙම පැවසීය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ගේ ආරාධනයෙන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම දඹුල්ල සති පොළ භූමියේ නව කාබනික පොහොර අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරනු ලැබූහ .මේ ස්ථානයෙන් ඕනෑම අයකුට කාබනික පොහොර මිලදී ගැනීමේ අවස්තාව උදා වී ඇත .
 
මෙම අවස්ථාවට දඹුල්ල මහනගර සභාවේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගොවින්  ද එක්ව සිටියහ