ඉර පායා... ඉර පායා.....
අලූත් දවසකට
අවපස සඳකට
ඉර පායා.... ඉර පායා....
සමිතා එරන්දතී මුදුන්කොටුවගේ සුමිහිරි හඬ ගී ලොව සිසාරා හමා ආයේ ඒ අපූරු ගීතය සමගය. දශක දෙකකට පමණ පෙරදී ගී ලොවට දායාද වූ ඒ හඬ නූතන ගීත කලාවේ සුමිහිරි දායාදයක්මය. නව යෞවනයේ සිට එදා ගී ගැයූ ඇය පසුව යෞවනයේ සමනල මාවතේ දිව යමින් ගුමු ගුමුව වදුලේ සිලි සිලිය සුළෙඟ් යැයි ගැයුවාය. සඳ තරු මල් දායාද ලෙස හදට දුන් සිසිලස රැගත් මවකගේ හැඟුම් ද ගීතයට මුසුකළ ඇගේ අරුමැසි හඬ අද නිහඬය, නිශ්ශබ්දය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර සමිතාගේ සුමියුරු හඬ අවදි කළ යුතුය. මොහොතකට ඒ ඇරයුමින් දෙවසරකට පසුව පුවත්පත් හමුවකට ඇගේ හඬ අවදි කළෙමු.
”පසුගිය කාලයේ ඇත්තටම මම ගොඩාක් කාර්ය බහුල වුණා. එය අදටත් එහෙමයි. මගේ දුව කවින්ධ්‍යා මේ වසරේදී තමයි සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නෙ. ඉතින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි වඩාත් කාර්ය බහුලව සිටින්නෙ. මගේ වගකීම ඒ සියල්ල ගැන සොයා බලා පළමුව ඇය යන මාවත එළිපෙහෙළි කරදීමයි.
සමිතා එසේ පිළිතුරට මුලපුරන අතරේ පුතු සහ දියණිය ඇය අසලට වී සිටියහ.
”අම්මෙ මම සෙල්ලම් කරන්න යන්නද?” පුතු විමසයි.
”හොඳයි පුතේ” ඇය කීවාය.
දියණිය ඇයට වඩාත් ලෙංගතු බව දැනේ.
”කොහොමද දුව? ඔයාගේ විස්තර මොනවද?” අපි ඒ දියණිගෙන් විමසීමු.
”මේ ජූනි 20 වෙනිදාට මට අවුරුදු 16 යි. මම ඉගෙන ගන්නෙ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ. ඉගෙනීමට තමයි මගේ මුල්තැන. නර්තනය සහ ගායනයත් ප‍්‍රගුණ කරනවා. ඒ අංශ දෙකටම දක්ෂයි කියලා තමයි අම්මා නම් කියන්නෙ”
කවින්දියා දේවින්දි මෙලෙස පුවත්පත් හමුවකට අදහස් දක්වන්නේ පළමු වතාවටය. ඒ ආධුනික බව ඇයට ගෙන දෙන්නේ අමුත්තකි.
”දුව කාගේ ගීතද ගයන්නෙ?”
අප ඇසූ විට ඇය කීවේ බටහිර පොප් ගායිකාවක් වන බියොන්සෙ සහ රිහෑනාගේ ගීත ගැයීමට කැමැති බවය.
”කවුද ඔබේ ප‍්‍රියතම සිංහල ගායිකාව?
”අම්මා... අම්මා...’’
ඇය කීවේ ප‍්‍රීතියෙනි.
කවින්දයා ඔබ කොහොම කෙනෙක්ද?
”ගොඩාක් අයට උදව් කරන්න කැමතියි. නිහඬම චරිතයක් නෙවෙයි.”
අම්මා ගැන හිතන්නෙ කොහොමද?
අම්ම තමයි මගේ ලෝකය, මම අම්මට ගොඩාක් ආදරෙයි. මල්ලි මගේ සුරතලා. මල්ලි ඉගෙන ගන්නෙ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ. අම්මා ගැයූ ගී අතරින් ඔබ හින්දා බෑ කියන ගීතයට වැඩිය කැමතියි. ඇත්තටම අපේ අම්මි හරි හොඳයි. අම්මට තරහා යනවා හරි අඩුයි. තරහා ගියත්, අපි දෙන්නා ටිකකින් යාළුවෙනවා. අම්මි ඇත්තටම නැතිබැරි අයට උදව් කරන අහිංසක චරිතයක්.
දියණිය එලෙස කියද්දී සමිතා හීන්සීරුවේ ගීයක් මිමිණුවාය. නන්දා මාලිනියගේ අම්මාවරුනේ... ඇය වඩාත් කැමතිම ගීතයකි. එමෙන්ම නිරෝෂා ගයන ”සිත හඬයි මා තනිවී...” ගීතයටද ඇය බෙහෙවින් මනාපය.
මේ ගෙවූ ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද? අපි සමිතාගේ මුනුමුනුවට බාධා කළෙමු.
”මගේ අම්මටයි, තාත්තටයි මම විතරයි. පවුලේ එකම දරුවා ලෙස දෙමාපිය ආදරය සහ සියලූ සැප පහසුකම් ඇතිව හැදුන කෙනෙක්. ඒත් මම ආත්මාර්ථකාමී නැහැ කියලයි මට හිතෙන්නෙ. කුඩා කාලයේදී මම කාටවත් කරදර දුන්නෙ නැහැ. අදටත් එහෙම තමයි. අද මම තනි ගැහැණියක් නොවෙයි. දරු දෙදෙනෙකුගේ මවක්. අද මගේ ලොකුම සම්පත ඒ දෙන්නායි. ජීවිතේ බොහෝ දේ ඇතිවෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒත් ඒ සියල්ලට මුහුණ දීමට වගේම විඳදරා ගැනීමටත් මම ශක්තිමත් කියලයි මට හිතෙන්නෙ. ඒ ශක්තිය කොහෙන්ද ලැබුණෙ කියලා මටම හිතාගන්න බැහැ. කොහොම වුනත් මොන දුකක් ආවත් හිත
හදාගන්න පුළුවන් කෙනෙක් මම. කොහොම වුණත් මොන දුකක් ආවත් දැන් මම ජීවත්වෙන්නෙ දරුවො දෙන්නා වෙනුවෙන් කියලයි මට හිතෙන්නෙ.”
දුක සැප සියල්ල අතරේ ගෙවන ජීවිතය ගැන සමිතා එක සීරුවට එලෙස අදහස් ගොනු කළාය. කෙසේ වෙතත් ලෝකයා මතුපිටින් විමසා බලා දකින විදිය වෙනස් විය හැකිය. ඒ සියල්ලට මෙන්ම ඕපාදූප කටකතා සියල්ලටත් ඇය මුහුණ දෙන්නේ කෙසේද?
”බොහෝ දෙනා බොහෝ දේ අහනවා. ඒ වගේම සමහරු මගේ පුද්ගලික විස්තර දැනගෙන නොදන්න ගාණට ඉන්නවා. කොහොම වුණත් වෙච්ච කිසි දෙයකට මම කාටවත් දොස් කියන්නෙ නැහැ. වෛර කරන්නෙත් නැහැ. ජීවිතේ අපි නොසිතන දේවල් වෙන්නෙ මටම විතරක් නෙවෙයි. ඒත් සමහරු මේ නිසා මට හොඳ කියනවා. ඒ වගේම නරකත් කියනවා. ලෝකයේ හැටි එහෙම තමයි. කවදාවත් දැකලාවත් නැති අය මට දොස් කියනවා ඇති. ඒත් මම ඒ අයට වෛර කරන්නෙ නැහැ. මට ඕනෑම දෙයකට උදව් කරන හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම දුවයි පුතයි නොසැලී මා එක්ක ඉන්නවා. මටත් ඒ දෙන්නා නැතිව මොහොතක්වත් ඉන්න බැහැ.”
මේ සියල්ල අතරේ සංගීත කටයුතු කෙරෙන්නේ කොහොමදැයි ඊළඟට සමිතාගෙන් අපි ඇසුවෙමු.
”ප‍්‍රසංග වුණත් ගොඩාක් දුර බැහැර ඒවා බාරගන්නෙ නැහැ. පිටරට සංචාර වලටත් වැඩිපුර සහභාගි වෙන්නෙ නැහැ. මොකද දුවගෙ විභාගය නිසා මම ඇය ළඟින්ම ඉන්න ඕනෑ. කොහොමටත් මගේ සංගීත ජීවිතය සීඝ‍්‍රගාමී දුම්රියක් වගේ නෙවෙයි. බොහොම හෙමිහිට ගෙවෙන එකක්. 89 පටන් ගත්ත ඒ ගායන දිවියේ මේ වන විට ගීත එකතු පහක් විතර එළි දක්වා තිබෙනවා. ඒ අතරින් ”සංසාරණ්‍යයේ” ගීත එකතුවට ගොඩාක් ප‍්‍රතිචාර ලැබුණා. නමුත් පණ්ඩිත් අමරදේව, විශාරද වික්ටර් රත්නායක, කලාශූරී ලතා වල්පොල, ප‍්‍රවීණ ශිල්පිනී මරියසෙල් සහ හිටපු පොප් රජු ක්ලැරන්ස් වැනි දැවැන්ත චරිත සමග නිර්මාණ එකතුවක් ලෙස එළි දැක්වූ ”මුතුකුමාරි” ගීත එකතුවට මම ගොඩාක් ආදරෙයි. එය මට ලැබුණු වාසනාවක්. ඇත්තටම එවැනි ප‍්‍රවීණයින් එක්ක වගේම මෑත කාලයේ ආධුනික අය එක්කත් මම නිර්මාණ කළා. ඒ නිසා මගේ සංගීත දිවිය ගැන අප‍්‍රමාණව මම සතුටට පත්වෙනවා. මේ මෑතකදී කළ අලූත්ම නිර්මාණය වන්නෙ නව ගීත රචකයකු ලියූ රුවන් වල්පොල සංගීතවත් කළ ”පාට වෙනස්වන” කියන ගීතයයි. මම ඒ ගීතයට ගොඩාක් ආසයි. මේ විදියට මගේ ගමන හෙමින් ගලා යාවි. සමිතා ලෝකයට ආදරෙයි. කාටවත් වෛර කරන්නෙ නැහැ. මම දන්නෙ එච්චරයි.
ඉදින් ඇය හෙටත් ගයාවි... ඒ ගායන ලීලාව මවන මිහිරට සත්තකින්ම ඔබ ආදරය කරන බව අපි දනිමු. දෙන්න අවසර ඇයගේ කැදැල්ලෙන් නික්ම යන්නට අපට....
- සටහන/ඡායාරූප සඳුන් ගමගේ

