‘‘ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා යන ගමන නතර කළ යුතුයි‘‘


(අංජුල මහික වීරරත්න) 
 
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා යන ගමන වහා නතර කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (26) පැවැසීය.

 
වසර පහකට පෙර ඡන්දයකට යනවානම් පක්ෂ සියල්ල එක්වී සාකච්ඡා කළ යුතු බව කී වික්‍රමසිංහ මහතා ජනතා පරමාධිපත්‍ය රකින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා දිවි හිමියෙන් කැපවී ක්‍රියා කරන බවද සඳහන් කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකමුතුව පවත්වන අඛණ්ඩ සත්‍යාග්‍රහය සඳහා අද (26) එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
 
කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිටදී මෙම සත්‍යාග්‍රහය පැවැත්වෙයි.මෙහිදී රනිල්  වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා වන ජනතා පෙත්සමකටද අත්සන් කළේය.
 
සත්‍යාග්‍රහයට සහභාගි වී සිටින මහා සංඝරත්නය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා පිරිත් නූලක්ද ගැට ගසනු ලැබීය.

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක