(දසුන් රාජපක්ෂ)
තමා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ අත්අඩංගුවට පත්වූ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත්වී නොතිබූ නිසා ඔහු සේවයෙන් ඉවත් නොකළ බව විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (13) ප්‍රකාශ කළේය.
ඉකුත් ආණ්ඩුව සමයේ පත්කළ දූෂණ මර්දන කමිටුව නාවික හමුදාපතිවරයා ලෙස තමා ඩී.කේ.පී. දසනායක මහතාගේ සේවය අත්නොහිටුවීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවක දී තමා එලෙස ප්‍රකාශ කළ බව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේය.
නාවික හමුදාවේ නීති රෙගුලාසිවලට අදාළව අත්අඩංගුවට පත් නිලධාරියකුට චෝදනා පත්‍රයක් ඉදිරිපත්වී නොතිබෙන අවස්ථාවක නාවික හමුදාපතිවරයකුට එම නිලධාරියාගේ සේවය අත්හිටුවිය නොහැකි බැවින් තමා එලෙස කටයුතු කළ බව ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දුන් ඒ මහතා පැවසීය.
රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා මෙම ජනාධිපති කොමිසකට කර තිබෙන පැමිණිල්ලකට අදාළව සාක්ෂි විමසීමට විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රදානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොමිසම හමුවට කැඳවා තිබිණි.
තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලනික වශයෙන් පලිගැනීමක් වශයෙන් බවට ඩී.කේ.පී. දසනායක මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබිණි.
මෙම සාක්ෂි ලබාගැනීමේ කටයුතු දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාලයේ දී සිදු කෙරිණි.
ජනාධිපති කොමිසම හමුවේ වැඩදුරටත් සාක්ෂි ලබාදුන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා යහපාලන රජය මගින් පත්කළ දූෂණ මර්දන කමිටුව හමුවේ 2018 අප්‍රෙල් 24 වැනි දින වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පෙනී සිටි අවස්ථාවක දී පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ නඩුවේ ප්‍රගතිය සමාලෝචනය කර ඇතැයි පැවසීය.
මෙම ජනාධිපති කොමිසම හමුවේ අද්මිරාල් තිසර සමරසිංහ, අද්මිරාල් ඒ.එස්.එම්. පෙරේරා සහ රියර් අද්මිරාල් කේ.ආර්. අමරසිංහ යන නාවික හමුදාවේ ඉහළ නිලධාරීහු ද අද (13) සාක්ෂි ලබා දුන්හ.

