(දසුන් රාජපක්ෂ)
තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට යොදා ගත් 1991 අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගැසට්පත්‍ර ගතවූවක් නොවන බව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (20) පැවසීය.
බලපත්‍ර රහිතව අලි පැටියකු සන්තකයේ තබා ගැනීම යන චෝදනාව තමාට එරෙහිව ඉදිරිපත් වූයේ දේශපාලන උවමනාවක් බවද තිලිණ ගමගේ මහතා සඳහන් කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී රැස්විය.
ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙසේද පැවසීය
යහපාලන ආණ්ඩුවට අවශ්‍ය නඩු තීන්දු මා හරහා ලබාගැනීමට උත්සාහ කළා. ඔවුන්ගේ එම යෝජනාවට එකඟ නොවූ නිසා මට එරෙහිව මේ චෝදනා ඉදිරිපත් වුණා.
මේ අවස්ථාවේ දී තිළිණ ගමගේ මහතාට ප්‍රශ්නගත අලි පැටවා ලැබුණේ කෙසේදැයි ජනාධිපති කොමිසම ඔහුගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් තිලිණ ගමගේ මහතා මෙසේ පැවසීය.
‘‘අලි පැටියාගේ මුල් අයිතිකරුගේ නම චන්ද්‍රරත්න යටවර. රුපියල් ලක්ෂ තිහක් දීලා ඔහුගෙන් මම අලියව මිලදී ගත්තා . ඊට අදාළ මුදල් කුවිතාන්සු මා සතුව තිබෙනවා.එම පුද්ගලයාගෙන් මම ලබා ගත් අලි පැටවාගේ ලයිසන් පත්‍රය ගැටළු සහගත බව මම දැනගෙන සිටියේ නැහැ. අලි පැටවාට අදාළව ලයිසන් පත්‍රය ලබා ගැනීමට එහි මුල් අයිතිකරු වනජීවි දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර තිබූ බව අලියා මිලදී ගද්දී මම දැන ගෙන සිටියේ නැහැ .
අලි පැටවාගේ ලයිසන් පත්‍රය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයදැරූ සමයේ පරිසර ඇමතිවරයෙකු ලෙස සිටි එස්.එම් චන්ද්‍රසේන මහතා අනුමත කර තිබූ නිසා ඉන් අනතුරුව බලයට පත් වූ යහපාලන ආන්ඩුවේ ඇමතිවරු වූ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික යන අය සහ සිවිල් සංවිධාන කිහිපයක් බලපත්‍ර නොමැතිව මම අලියෙකු ළඟ තබාගෙන සිටින බවට චෝදනා ඉදිරිපත් කළා යැයි කීය.
ජනාධිපති කොමිසම හෙට (21) යළි රැස්වීමට නියමිතය.

