‘‘කළුතර ජනතාවගෙන් ජල බිල්පත් අයකරගැනීම නවතා දැමිය යුතුයි‘‘


(විනීතා එම් ගමගේ)

කළුතර, බේරුවල සහ වාද්දුව ජනතාව වසරකට දෙවතාවක් මුහුණ දෙන ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන්ගෙන් ජල බිල්පත් අයකර ගැනීම නවත්වා දැමිය යුතු බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

කළුතර කෙත්වෙහෙර ජල පවිත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මෙම යෝජනාව කළ බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවැසීය.

මෙම ප්‍රදේශවල පවුල් 72,000 කට ආසන්න සංඛ්‍යාවක් පානීය ජලයට ලවන මිශ්‍රවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කළුතර සෞඛ්‍ය විද්‍යායතනය මෙම ජලයේ සන්නායකතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව පානයට සේම සෞඛ්‍යාරක්ෂාත කටයුතු සඳහාද මෙම ජලය නුසුදුසු බවට නිර්දේශ කර ඇතැයි පැවසීය.්‍

ඉදිරියේදී වැඩ නිම වීමට නියමිත අලුත්ගම, අගලවත්ත, මතුගම පානීය ජල යෝජනා ක්‍රමය මගින් මෙම ගැටළුවට ප්‍රමාණවත් විසඳුමක් ලැබෙනු ඇති බව කී අමාත්‍යවරයා එතෙක් ජලබිල්පතට සහනයක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු කටයුත්තක් බව අවධාරණය කළේය.