‘‘කබලෙන් ලිපට“


මන්නාරම සිලාවතුර මරිච්චිකට්ටියේ රජයේ ඉඩමක තාවකාලික නිවාස තනාගෙන සිටි මුස්ලිම් වැසියන්ගේ නිවාස හතකට සහ ප‍්‍රජා ශාලාවකට ඊයේ (3) සවස 7ට පමණ පැමිණි පිරිසක් ගිනිතබා ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි. ගින්නෙන් එම නිවාස මුළුමනින්ම දැවීගොස් ඇත. හැත්තෑවක පමණ පිරිසක් පැමිණ නිවෙස්වලට ගිනි තබා එම ගම්මානයේ පදිංචි පවුල් 15ක් බලහත්කාරයෙන් නිවාස වලින් එළියට ඇදදමා ඉඩම්වලින් ඉවත් වන ලෙසට තර්ජනය කර තිබේ. මරිච්චිකට්ටි ගම්මානයේ මුස්ලිම් පවුල් 150ක් පමණ ජීවත් වූ බවත් යුද සමයේ කොටි තර්ජන නිසා පුත්තලමේ පදිංචියට ගිය ඔවුන්ගෙන් පවුල් 40ක් යුද්ධයෙන් පසුව නැවත එම ගමට පැමිණ තාවකාලික නිවාස තනාගෙන පදිංචි වී සිටි බවත් එම වැසියෝ කියති. නිවාස ගිනි තැබීමෙන් පසුව එම ගම්මානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය මැදිහත් වී පිරිස සන්සුන් කොට තිබේ. ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි. අවතැන් වූවනට ප‍්‍රජා ශාලාවක නවාතැන් පහසුකම් සලසා ඇතැයි පොලිසිය පවසයි.