‘‘ඉසඩ් ලෙඩේ නිට්ටාවට සුව කරනු“


ඉසෙඞ් ස්කොර් කඩඉම් ලකුණු අගය සම්බන්ධ  ගැටලූ නිරාකරනය  කිරීම සඳහා සකස් කළ විසඳුම් යෝජනාවලිය ඇතුලත් අවසන් වාර්තාව ලබන තුන්වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත්  කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය. නැවත ගණනය කළ ඉසෙඞ් ස්කෝර් අගය හේතුවෙන් අසාධාරණයට පත්වු සිසුන් 382 දෙනෙකු ගොනු කළ මුලික අයිතිවාසිකම්  පෙත්සම් අද (30) අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, හා කේ.ශ්‍රීපවන් විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ   අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදෙන ලදී. එහිදී නීතිපති අධිකරණයට දැනුම්දී සිටියේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් එක්ව ඉසෙඞ් ස්කෝර් අර්බුදය විසඳිමේ යෝජනා ඇතුළත් වාර්තාව කඩිනමින් සකස් කරමින් සිටින බවය. එම වාර්තාව අවසන් වාර්තාවක් විය යුතු බවත්  ඉන් කිසිවකුගේ  අයිතිවාසිකම් කඩවූ එකක් නොවිය යුතු බවත් ඉන් හැකි තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැකි එකක් විය යුතු බව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.