‘‘ඇඹිලිපිටිය කඩදාසි කම්හලට පණ දෙන්න මම සූදානම්‘‘


(ඩයනා උදයංගනී)

ඉතා අබලන් තත්ත්වයේ තිබූ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණදීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.

වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දිය හැකි යැයි කිසිවකුත් විශ්වාස නොකළ බව කී අමාත්‍යවරයා වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදිත ටොන් 50කට ආසන්න ප්‍රථම කඩදාසි තොගය මෙම මාසයේ අගදී වෙළඳපොළට නිකුත් කරන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික කඩදාසි සමාගමට අයත් දැනට වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වාලච්චේන කම්හලේ යන්ත්‍රසූත්‍ර යථා තත්ත්වයට පත් කිරීම බොහෝ දුෂ්කර වූ බව කී ඇමති විමල් වීරවංශ මහතා ඒ වෙත ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් අලුතින් ගැනීමටත් ගොඩනැගිලි සියල්ල යළි පිළිසකර කිරීමටත් සිදුවූ බව ද කීවේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල, වාලච්චේන කම්හලට සාපේක්ෂව ආරක්ෂිතව තිබූ බව කී ඇමතිවරයා එහි යන්ත්‍ර සූත්‍ර හොඳින් පවතින නමුත් විදුලි පද්ධතියට තඹ කම්බි සොරාගත් පිරිස් විසින් හානිකර ඇතැයි ද පැවසීය.

ඒවා ප්‍රතිසංස්කරණය කර එම කම්හලේ වැඩ කටයුතු ඇරඹිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වාලච්චේන කඩදාසි කම්හල ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත්  කිරීමට සූදානම් බව ද කී ඇමතිවරයා එය කළ හැක්කක් බව ඉදිරි මාස කිහිපය තුළ ඔප්පු කර පෙන්වන බව ද ප්‍රකාශ කළේය.