‘‘ආණ්ඩුව ජනතාවට බදු ගසා ධනපතින්ට සහන දුන්නා‘‘


(නිමල කොඩිතුවක්කු)

ධනපති ආණ්ඩුවක් යැයි පැවසූ  එජාප ආණ්ඩුව ධනපතින්ට බදු ගසා ජනතාවට සහන දුන්නත් ජනතාවාදී මේ ආණ්ඩුව ජනතාවට බදු ගසා ධනපතින්ට සහන දී ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට සිංහල අවුරුද්ද උලා කෑමට සිදුව ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය.

තේ කඩයක් කරගැනීමට අවබෝධයක් නැති වියත්මගේ වියතුන් රටේ අකාර්යක්ෂම පාලනයට වගකිවයුතු බවද ඔහු සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.

          “ජනතාවට සහන ලබාදෙන්න අපේ ආණ්ඩුව ඉදිරිපත් කළ සියලුම සහන  මේ ආණ්ඩුව  නවත්වලා තියෙනවා. අපේ ආණ්ඩුවට වඩා රට ඉස්සරහට ගෙනියන්න ආපු නායකයෙක් දැන් පත්කරගෙන තියෙනවා.  ඒත් ජනතාවට සහන නැහැ.

මේ ආණ්ඩුව ඇවිත් ගම්පෙරළිය නතර කළා.  එන්ට්‍රප්‍රයිස්  ශ්‍රී ලංකා නතර කළා. ගැබිණි  මව්වරුන්ගේ පෝෂණ සලාකය  නතර කළා,  නිල ඇඳුමේ වවුචර්  මුදල අඩු කළා. නිවාස වැඩසටහන නතර කළා. විහාරස්ථාන  ඇතුළු ආගමික සිද්ධස්ථාන  සංවර්ධනය කිරීම නතර කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට අපි අනුමත කළ වැටුප් වැඩිකිරීම් මේ රජය නතර කළා. විශ්‍රාමිකයන්ගේ දීමනා නතර කළා. විධායක නිලධාරීන්ගේ 15000 දීමනාව නතර කළා.

අපේ රජය යටතේ  එන්ට්‍රප්‍රයිස්  ශ්‍රී ලංකා  වැඩසටහන ඇතුළු මේ සහන සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා බිලියන ගාණක මුදල් වෙන්කරලා තිබුණා. දැන්  ඒ වැඩසටහන  නැවැත්තුවා. දැන් ඒ සල්ලි කෝ කියලා අපි අහනවා. මේ මුදල් මොනවටද පාවිච්චි කරන්නේ කියලා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි.

ජනතාවට සහන සහ සංවර්ධනය  වෙනුවෙන් මේ රජය ගෙන ඒන ඕනෑම යෝජනාවකට සහයෝගය දෙන්න අපි එකඟ වුණා.  අපි විරුද්ධ වුණේ  ණය සීමාව වැඩි කිරිමේ යෝජනාවට පමණයි.  තියෙන ණය ගෙවන්න බැහැ කියලා ඉන්දියාවට ගිහින්  ලෝකෙටම ප්‍රකාශ කරාට  පස්සේ තවත් ණය ගත්තොත් මේ අය කොහොමද ගෙවන්නේ කියලා රටට පැහැදිලි කළ යුතුයි.

අද ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත  වැටෙමින් තිබෙනවා. ජනතාවට  ඒකෙන් සත පහක  සහනයක් දීලා නැහැ. අනිත් පැත්තෙන් දැන් වෙළඳපළේ  සියලුම බඩුමිල ඉහළ ගිහින් තියෙනවා.  තැඹිලි  ගෙඩිය රුපියල් සියයි  කියලා අද පත්තරේ තියෙනවා.

රණවිරුවන්ගේ පිහිටෙන්  බලයට පත්වෙලා අපි දීපු සහනවත් අද රණවිරුවන්ට නැහැ.  දැන් යළිත් ආබාධිති රණවිරුවන් පාරේ වාඩිවෙලා ඉන්නවා. හැබැයි ජනාධිපති පුටුවේ ඉන්නෙත් රණවිරුවෙක්.  විපක්ෂයේ ඉන්න කොට මහින්ද  රාජපක්ෂලා ඒ අයට තැඹිලි පෙව්වා. දැන් ඇහැක් ඇරලා  බලන්නේ නැහැ.

මේ ආණ්ඩුව ආපු ගමන් බදු සහන  දුන්නේ ලංකාවේ ඉන්න  ඉහළම ධනපතියන්ට. සියට  15 සිට සියට 8 ට වැට් එක අඩු කරලා දැම්මා. උපයන විට බද්ධ අඩු කළා. බදු සහන දුන්නා.

මුළු කලුතර  දිස්ත්‍රික්කයෙන්ම  2020 සඳහා බදු ගෙවන්නේ තුන්දෙනයි. 2019 මම බදු ගෙව්වා මේ බදු සහනය නිසා 2020 ට මම බදු ගෙවන්නේ නැහැ. ජනතාවට සියලුම බදු ගහනවා. හැබැයි ධනපතින්ට නැහැ.

එජාපය ධනපති ආණ්ඩුවක්ලු. ධනපති එජාප ආණ්ඩුව ධනපතින්ට බදු ගහලා ජනතාවට සහන දුන්නා. ජනතාවාදී මේ ආණ්ඩුව ජනතාවට බදු ගහලා ධනපතින්ට සහන දුන්නා.

2015 ට පෙරට වඩා අපි ඉන්ධන මිල, ගෑස් මිල, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය බඩුමිල අඩු කරලා මේ ආණ්ඩුවට අපි රට බාර දුන්නා.   අපි සීනි ඇටේට, පිරිප්පු ඇටේට බදු ගැහුවේ නැහැ. අපි ඒ වෙනුවට ධනපතින්ගෙන් බදු ගැහුවා.

මේ ආණ්ඩුව ආපු ගමන්ම රජයේ  ආදායම බිලියන 500 ක් අහිමි කරගත්තා. දැන් ඒක දුප්පතුන්ගෙන් අයකරගැනීමට කටයුතු කරනවා. අද මේ අයට රට පාලනය කරගන්න බැහැ. බංකොලොත් තත්වයට රට පත්කරගෙන තියෙනවා.

මේ මාස තුන තුළ අකාර්යක්ෂම පාලනයක් තමයි ගෙන ගියේ. මොකද  ජනාධිපති පුටුවේ හිටපු කෙනා ප්‍රාදේශීය සභාවකවත් ඉඳලා නැහැ.  එතකොට ඒ අයගේ  උපදේශකයො අරන් තියෙන්නේ වියත්මගෙන්. වියත්මගේ ඉන්න ඔය බුද්ධිමතුන්  තේ කඩයකවත්  දැලා නැහැ. උපදේශකයන් විදියට හිටියට මේ අයට කිසිම ව්‍යාපාර දැනුමක් නැහැ. අයවැයක් හදාගන්න  බැරි මිනිස්සුන්ගෙන් උපදෙස් අරගෙන කොහොමද රටක් හදන්නේ කියලා අපි අහනවා.

අපිටත් වැරදුනේ ඔය සමහර  තැන්වලට  ඔයවගේ කට්ටිය දාගත්ත නිසයි. මම ඒ දවස්වල අගමැතිතුමන්ගෙනුත් ඇහුවේ  කවුද මේ කොමිසන් වලට දාලා තියෙන්නේ කියලා. සිවිල්  සංවිධානවල හොද පිරිස්  හිටියට ඒ අයත් එක්ක කොහොමද ආණ්ඩුවක් කරන්නේ.

අප්‍රේල් 25 මහමැතිවරණය එනවා.  මේ සිංහල අවුරුද්දට  ජනතාවට කන්න හම්බවෙන්නේ නැහැ. ලෙවකන්න තමයි වෙන්නේ.  මැතිවරණය කිට්ටු වෙනකොට ජනතාවට තව තව අමාරු වෙනවා.

තව තව නෝට්ටු අච්චු ගහනවා.  අච්චු ගහලා උද්ධමනය වැඩිවෙලා තව බඩු මිල වැඩිවෙනවා. ඉතාම අමාරු තත්වයතකට මේ රට පත් කරනවා.

ජනතාවට පළවෙනි සහනය විදියට ලෝක වෙළඳපොලෙන්  ඉන්ධන වලට ලැබෙන සහනයෙන් කොටසක් හරි දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අඩු තරමින් ඉන්ධන මිල රුපියල් 15 කින් අඩු කරලා බඩු මිලට  යම් සහනයක් ජනතාවට ලබා දෙන ලෙසට අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.