‘හිටපු ජනපතිවරයා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක්‘


(නාලක සංජීව දහනායක)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් මිස හතුරෙක් නොවන බව  ඕනෑම කෙනෙක් පිළිගන්නා කාරණයක් බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.

එවැනි පසුබිමක මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් බවද මන්ත‍්‍රීවරයා කීය.

වසර තුනක් තිස්සේ ජනතාව වෙනුවෙන් කිසිවක් කරකියා ගත නොහැකි වූ යමපාලන ආණ්ඩුව තෙවර්ෂ පූර්ණය සමරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලන වශයෙන් දඩයම් කරමින් බවත් ජනාධිපතිවරණය දිනෙන් දිනම ලංවීමත් සමඟම මෛත‍්‍රී - රනිල් දෙබෑයන්ගේ කකුල් වෙව්ලන්නට පටන් ගෙන තිබෙන බව පැවසූ මන්ත‍්‍රීවරයා මොන දඩයම් කළත් තව වසරකින් මහින්ද ප‍්‍රමුඛ ජනතාවාදී ආණ්ඩුවක් බිහිවීම වැළැක්වීමට නොහැකි බවද අවධාරණය කළේය.