(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත් නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.
එසේම වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙක් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වැනි දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
පසුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
මෙම පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීහු මෙම විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූහ.

