විනීතා එම් ගමගේ
මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසවල විවිධ හේතූන් මත රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 1826 දෙනෙකු ඉකුත් මාස 18 ක කාලය තුළ ගෙන්වා ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. එම සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ද ඔවුහු පවසති.
මේ වනවිට එම සුරක්ෂා නිවාසවල රැඳී සිටින සමස්ත ශ්‍රමිකයන් සංඛ්‍යාව 251 ක් බවත් වැඩිම ශ්‍රමිකයින් පිරිසක් සිටින්නේ කුවේට් හා රියාද් තානාපති කාර්යාලවල පිහිටි සුරක්ෂා නිවාසවල බවත් විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
කුවේට් තානාපති කාර්යාලයේ ශ්‍රමිකයන් 105 ක් සිටින අතර රියාද් තානාපති කාර්යාල සුරක්ෂා නිවාසයේ 41 ක් රැඳී සිටිති. අනෙක් රටවල පිහිටි සුරක්ෂා නිවාසවල සිටින සමස්ත ශ්‍රමික පිරිස 105කි. ඊශ්‍රායලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, බහරේන් හා මාලයිවයින යන රටවල සුරක්ෂා නිවාසවල මේ වන විට කිසිදු ශ්‍රමිකයෙක් නොමැත.
සුරක්ෂා නිවාසවල රඳවාගෙන සිටි ශ්‍රමිකයින්ගේ ගැටලු හැකි ඉක්මණින් විසඳා ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව එම ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බවත් එබැවින් මෙම සංඛ්‍යාවේ අඩුවීමක් දැකිය හැකි බවත් නානායක්කාර මහතා පැවසුවේය.
ශ්‍රමිකයින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කම්කරු අංශ ප්‍රධානීන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් තානාපති කාර්යාලවලට පිටත්කර යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද හෙතෙම කීය.