‘සියපත්විල‘ ගී සයුරකි


මහජන මිත්‍රශීලී හා අභිමානවත් පොලිස් සේවයක් උදෙසා රාජ්‍යාරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පවත්වන ‘සියපත්විල‘ 20 වැනි වැඩසටහන පොලිසියේ දහසකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රංග ශාලාවේදී පැවැත්විණි. අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය පැවසූයේ පොලිස් ඇකඩමියෙන් පොලිසියට හොද පුහුණුවක් දෙන බවයි. උසස්වීම් හා පුරප්පාඩුද, දීමනා ද නිසි කලට සිදු කරන බවයි. කොළඹ සරසවියේ මහාචාර්ය කමල් වලේගොඩ ප්‍රධාන දේශනය පැවැත්වීය. පොලීසියේ රාජකාරියත් මාධ්‍යවේදීන්ගේ රාජකාරියත් සමග සමානකම් ඇතැයි ඔහු කීවේය. රහස් පොලිස් අධිකාරී රංජිත් අමරදේව මහතා හින්දියෙන් හා සිංහලෙන් ගැයූ ගීත බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු විය. තව තවත් ගීත ගයන්නැයි ඔහුට පැරත්ත කළහ. සංවේදී පුද්ගලයන් පොලිස් නිල ඇඳුමේ සිටින බව පොලිස් අධිකාරී අමරදේව හොද උදාහරණයකියි මහාචාර්ය වලේගොඩ කීවේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ජයලත්, නිරෝෂා ප්‍රියදර්ශනී පොලිස් කොස්තාපල්වරිය, කොස්තාපල් වසන්ත ප්‍රභාග් ගීතාරච්චි, පොලිස් පරීක්ෂක සිසිර, ඉරේෂා ලක්ෂානි කොස්තාපල්වරිය, උප පොලිස් පරීක්ෂක සිල්වා ද ගී ගැයූහ. සැරයන් හටන්ගල හිටිවන කවි කීවේය.