‘සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර කරන්නේ නැහැ‘


(නිමල කොඩිතුවක්කු)
 
කොළඹ නගරය හරහා ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර නොකරන බවත් එහි ඇතැම් කරුණු සහ ඉදිකිරීම් පිළිබඳ සමාලෝචනයක් පමණක් සිදු කරන බවත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද(24)පැවසීය.

දැනට යෝජිත ක්‍රමය මගින් ලංසු කැඳවීම සිදුවන්නේ ජපන් කොන්ත්‍රාත් කරුවන් සහ නිෂ්පාදකයින් අතරින් පමණක් වන නිසා එම තත්වය බැහැර කර ඕනෑම ජාත්‍යන්තරව පිළිගත් කොන්ත්‍රාත් කරුවන්ට සහ නිෂ්පාදකයන්ට සහභාගි විය හැකි ප්‍රසම්පාදන යාන්ත්‍රණයකින් තරඟකාරී මිල ගණන් හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
 
එම ව්‍යාපෘතිය පිළිබඳ ජයිකා ආයතනය සමග පවතින ගිවිසුම අත්හිටුවීමට කටයුතු කලත් ඒ වෙනුවෙන් කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවන බවත් පැවසූ ලේකම්වරයා අදාළ උපදේශන සමාගම් වලට පමණක් සුළු මුදලක් ගෙවීමට සිදු වනු ඇතැයි ද පැවසීය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද  (24)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
දැනට යෝජිත ජයිකා ආයතනය මගින් සිදු කරන ව්‍යාපෘති ආයෝජනය ඩොලර් බිලියන 2.2 බවත් මෙයට වඩා අඩු ආයෝජනයකින් එම මෙම ව්‍යාපෘතිය සිදු කළ හැකි බව නව රජයේ ස්ථාවරය බවත් ඔහු සඳහන් කළේය.

යෝජිත පරිදි ව්‍යාපෘතිය කඩුවෙල දක්වා දිවෙන නමුත් දැනට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වගුරු බිම ට  ඉහළින් කුළුණු මත යෝජිත ඩිපෝ අංගනය අතුරුගිරිය ප්‍රදේශයේ සුදුසු උස් බිමක අඩු වියදමකින් ඉදිකිරීමටත් සැහැල්ලු දුම්රිය මාර්ගය අතුරුගිරිය  දක්වා දික්කිරීම රජයේ අරමුණ බවද වික්‍රම මහතා කීවේය.
 
කිසිදු හේතුවක් මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට රජය කටයුතු නොකරන බවත් පැවසූ ලේකම්වරයා ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, භූ  පරීක්ෂණ කටයුතු, ඉදිකිරීම් ක්‍රමවේදය ඇතුළු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකරන බවද ඔහු පැවසීය.
 
ව්‍යාපෘතිය සඳහා වෙනත් කිසිදු රජයකින් හෝ ආයතනයකින් වැඩි පොලියට ණය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආයෝජකයෙකු මගින් මහා භාණ්ඩාගාරයට බරක් නොවී ව්‍යාපෘතිය දිගටම කරගෙන යන බවද වික්‍රම මහතා සඳහන් කළේය.
 
ජපන් රජය හා ජයිකා ආයතනය සමඟ ඉතාමත් සුහදව කටයුතු කරමින් වෙන්කර ඇති ණය මුදල වෙනත් කේෂ්ත්‍රයකට ආයෝජනය කිරීමට හෝ සාකච්ඡා මාර්ගයෙන් ගිවිසුම අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.