‘ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරනවා‘


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජේ.පී.ආරච්චිගේ)

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබේ නම් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටිනවා. අධිකරණයට ඉදිරිපත් වන කරුණු අනුව අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව පිළිගන්න අපි සියලු දෙනාටම සිදු වෙනවා”යැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (14) මාතරදී පැවසීය.

මැතිවරණ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හා සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ රැස්වීමක දී ඔහු ඒ බව කීය.

එම රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා මෙසේද කීය.

“මෙවර දේශපාලන වෙනස්වීමෙදී රජයේ ආයතනයක වෙඩි තැබීමේ අවාසනාවන්ත සිද්ධියක් හැරෙන්න වෙනත් බරපතල සිද්ධීන් වාර්තා වුණේ නැහැ. එහෙත් 2000 දශකයේ ආරම්භයේ පවා ඡන්දයක් ඉවර වුණාම ගෙවල් ගිනි තැබීම්, මරා ගැනීම් හා රජයේ දේපොල වලට හානී කිරිම් සිදු වුණා. මෙවර එවැනි තත්වයක් ඇති නොවීම ගැන මහජනතාවටත් දේශපාලන නායකයින්ටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඒක අපේ වගකීම.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අනුන්ගේ මතය දැරීමට ඇති අයිතිය ඔවුන්ට තියනවා කියන එක පෙන්වන එකයි. එසේම බහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවන සේ ක්‍රියාත්මක කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනවා. පාර්ලිමේන්තුවේ 225 න් 175 ක් එක ගොඩේ හිටියත් අනෙක් 50 මතය බුල් ඩෝසර් කරන්නේ නැතිව ඒ අයගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දිය යුතුයි.

 
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණ සුළුතරයේ මතයට හානියක් නොවන පරිදි බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීමයි. ඒ ක්‍රියාත්මක කරන මතය දැන ගන්න පුලුවන් කොහොමද? කැමැත්ත විමසීමකින් පුලුවන්.


අපි පොඩි කාලෙ නම් ගෑණු ලමයෙක්ගේ කැමැත්ත ගන්න ලියුමක් දෙනවා. කැමතිනම් එයත් ලියුමක් එවනවා. අද කාලේ නම් ඒ සියල්ල එස්.එම්.එස්.මගින් සිදු වන්නේ. ඡන්දය කියන්නෙත් කැමැත්ත විමසීමක්.

බොහෝ දෙනා මේ ඡන්දය බටහිරින් ආපු දෙයක් බටහිර ගුණ්ඩුවක් ලෙස හඳුන්වනවා. මානව හිමිකම්, අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ වාදය, මූලික මිනිස් අයිතිවාසිකම්, යහ පාලනය, සාකච්ඡා, සම්මුති, තීරණ ගැනීම ආදී මේ සියලු දේ බුදුන්ගේ කාලයේ හා රජවරුන්ගේ කාලයේ පවා තිබී පවතිනවා.

කෙසේ වෙතත් ලබන වසරේදී  අපිට මැතිවරණ තුනක් පවත්වන්න නියමිතව තිබෙනවා.පලාත් සභා , මහ මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. පළාත් පාලන මැතිවරණයක් පෙනෙන තෙක් මානයේ නැති වුනත් අනෙකුත් සියලු ඡන්ද පැවැත්වීමේ කාලය උදා වෙනවා.

ඒ අතරතුරදී ජනමත විචාරනයක් ඒවිද දන්නෙත් නැහැ. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව ලෙස අපි ඕනෑම මැතිවරණයක් පවත්වන්න සූදානමින් සිටිනවා.

මෙවර පළාත් සභා මැතිවරණයට සියල්ල සූදානම් කර ගෙන යනකොටයි එකපාරට මහ මැතිවරණයක් කඩා පාත් වුණේ.මැතිවරණයකට සූදානමින් සිටි නිසා අපිට එය ප්‍රශ්නයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් අපි ක්‍රියාත්මක කරනවා.

මැතිවරණය කොමිසමේ සාමාජිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැනත් මේ දවස්වල කතා බහ වෙනවා. කවුරු හරි පුරවැසියෙකුට හිතෙනව නම් තමන්ගේ මූලීක අයිතිවාසීකම් කඩ වෙනවා කියලා ඔහුට හෝ ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අයිතිය තිබෙනවා.

එය පෞද්ගලික අදහසක් නිසාද පොදු යහපත ගැන සිතා ද කියන්න දන්නේ නැහැ.ඩතමන්ගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. ඒ ගැන ඒ හැර වෙන කිසි දෙයක් කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.”