‘ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් ඇති රටක්‘


(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාව පැහැදිලි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් තිබෙන රටක් බව ඉතා සතුටෙන් සහ ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) කොළඹදී ප්‍රකාශ කළේය. 
 
අපට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ නිදහස, ප්‍රජාත්නත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස් ශක්තිමත් කිරීම යැයි ජනාධිපතිවරයා එහිදි පැවැසීය. 
 
“ප්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය හා සුරැකීම සඳහා වූ සාමූහික ප්‍රයන්තය” යන මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය එක්ව සංවිධානය කළ සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
 
රාජාණ්ඩු ක්‍රමයට යමින් තිබූ අසීමිත විධායක බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සභාවලට පැවැරීමට තමන් කටයුතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීය.  
 
ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම සමුළුව පැවැත්වුණේ සිව්වැනි වරටය. කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මෙම සමුළුව හෙටින් (28) අවසන් වේ. 
 
එහිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
“දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමක් බලය සහිතව ශක්තිමත් අයුරින් ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබුණා. මේ රටේ නිදහස් හා සාධාරණ මැතිවරණවලට ශක්තිමත් පදනමක් අද වනවිට ඇති කර තිබෙනවා. 
 
මේ අවුරුදු තුනහාමාරක කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයක්ම ගෙන තිබෙනවා. ජනතාවගේ නිදහස, මානව හිමිකම් ශක්තිමත් කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තිබෙනවා. දූෂණයෙන් තොර අපක්ෂපාතී නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලතල දී තිබෙනවා. 
 
අපට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ නිදහස ශක්තිමත් කිරීමයි. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමයි අපට අවශ්‍ය වන්නේ. අපි ඒ සියල්ල කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ නිහඬ, ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී, නිදහස් හා සාධාරණ ලෙස පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි”. 
 
( ඡායාරූප -ඉෂාන් සංජීව )