නාලක සංජීව දහනායක
රටවල් දෙකක් අතර නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කිරීමේදී විවිධ වෘත්තීන් පිළිබඳව දැනීමක් ඇති විද්වතුන් සහභාගී විය යුතු වුවද ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සකස් කිරීමේදී විද්වතුන් සහභාගී වී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (28) පැවසීය.
එබැවින් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකළ යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
මෙම නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විවේචන එල්ලවීම නිසා ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළා. එම කමිටටුව මෙතෙක් ගත් ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිව දැනුවත් නැහැ. නීතීඥ,වෛද්‍ය,ඉංජිනේරු වැනි වෘත්තීන් හැරණ විට අනෙක් අංශ සඳහා එයටම අනන්‍යවූ නීති රෙගුලාසි නැහැ. එවැනි අවස්තාවකදී සංචාරක වැනි ක්‍ෂේත‍්‍රයන් විවෘත කිරීමෙන් ඒවා ආරක්‍ෂාකර ගැනීමට අසීරුවක් තිබෙනවා.
ඒ නිසා සේවා අංශය ආරක්‍ෂාකර ගැනීම සඳහා නීති රෙගුලාසි ඇතුළත් කළ යුතුයි. සිංගප්පූරුව වෙළඳ රාජ්‍යයක් මිස නිෂ්පාදන රාජ්‍යයක් නෙවෙයි. ඒ නිසා වෙළඳපොළ සඳහා තීරුබදු ඉවත් කිරීම අපේ රටට කෙටිකාලීනව හා දිගුකාලීනව පාඩුවක් සිදුවෙනවා. ඔවුන්ට පළමු වසරතුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 10 පමණ ලාභයක් අත්වන බව සිංගප්පූරුව පිළිගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ඕන ඒ සම්බන්ධයෙන් දැනීමක් තිබෙන අයයි.
නමුත් මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා ගිය කණ්ඩායමට එවැනි දැනීමක් නැහැ. ඒ නිසා මේ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කළයුතුයැයි ද කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.