රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
‘‘මෙම වැඩවර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පත් කිරිමට ඔවුන් තීරණය කර තිබෙනවා.. ඩෙංගු රෝගය පැතිර යමින් පවතින වකවානුවක මෙලෙස හැසිරීම ජනතාව හෙළා දකිනවා. ඔවුන් වෛද්‍යවරුන් නොවෙයි. ජනතාව කුපිත වී සිටින්නේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුනුත් වැටුප් ලබාගන්නේ අමාත්‍යාංශයෙන්. එම සංගමයේ නියෝජිතයින්ට ඩෙංගු මැඩලීමේ වැඩපිළිවෙළ පිළිබදව ගැටලුවක් ඇත්නම් එහි වගකීමත් වෛද්‍යවරුන් විසින් බාරගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ සිදූ වූ සිද්ධිය මුලික කර ගනිමින් වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට ජනතාව පිළිතුරු ලබාදෙයි‘‘ යැයි ඇමැතිවරයා කීවේය.
‘‘සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැන විනාශයක් සිදූ කොට තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශපාලන පක්ෂයක නියෝජිතයින් මෙම විනාශයට පැමිණි බව පැහැදිලියි. අමාත්‍යාංශයේ ඔසවා තිබූ ජාතික කොඩිය ඉවත් කර සටන් පාඨ සහිත පුවරුවක් එහි එල්ලීමට ඇතැම් සිසුන් උත්සාහ කළා. සේවකයින්ගේ විරෝධතා මත එය නතර කෙරුණා. ඇතැම් සිසුන් සේවකයින්ගේ කොලරයෙන් ඇද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් තාඩන පීඩන කර තිබෙනවා. අමාත්‍යාංශ භුමියෙන් අමාත්‍යාංශ සේවකයින් ඉවත් වූයේ හරිම අමාරුවෙන්‘‘ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.

