‘වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිස්පති‘


ගම්පහ රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයට යුද හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයා විසින් යැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඉදිරියේදී අද (19) පැවසීය.

යුද හමුදාව හා උද්ඝෝෂකයන් අතර වැලිවේරිය නගරයේ දී අගෝස්තු පළමුවැනි දාගැටුමේ දී තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දෙමින් කොමසාරු මහතා එලෙස පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරීවරයා සාක්කි  දුන් එතර එම සාක්කියේදී ඔහු පැවසුවේ වැලිවේරියට හමුදාව කැඳවූයේ තමා නොවන බවයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ උපුල් දේශප්‍රිය මහතා - මහේස්ත්‍රාත්තුමනි, වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස් අධිකාරී නොවේ නම් කවුද කැඳවූයේ කියා හෙළි කළ යුතුයි.

මහේස්ත්‍රාත් - වැලිවේරියට හමුදාව කැඳවූයේ කවුද?

පොලිස් අධිකාරී කොමාසරු  - වැලිවේරියේ තත්ත්වය උසස් නිලධාරීන්ට දැන්වූවාම ඒ වෙනුවෙන් අවශ්‍ය වන පිරිසක් එවනවා.

නීතීඥ උපුල් දේශප්‍රිය - කවුද හමුදාව කැඳවපු උසස් නිලධාරියා?

පොලිස් අධිකාරී කොමසාරු   -  මට ලැබුණු වාර්තාවකට අනුව පොලිස්පතිතුමා තමා යුද හමුදාව කැඳවා තිබෙන්නේ.

මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූයේ වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ ගම්පහ පොලිස් අධිකාරී විසින් බවයි.