(සිරංගිකා ලොකුකරවිට)
දිගින් ශ්‍රී ලංකාවේ දෙවැනි තැන තිබෙන වක්වැල්ල පාලමේ කණු දිරා ඇති බව නාවික හමුදාව විසින් පවසන බැවින් ඒ පිළිබඳ වහාම අවදානය යොමු කළ යුතුයැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ පසුගිය දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘පසුගිය දිනවල අතිවූ හදිසි ගංවතුර තත්ත්වයත් සමග වක්වැල්ල පාලමේ ගස් කොටන් හා උණබට හිරවීමෙන් ඉතා විශාල ගැටළුවක් ඇතිවුණා. ඒ අවස්ථාවේ නාවික හමුදාවේ නිලධාරීන් මේ පාලම අසළ කිමිදෙමින් එම අපද්‍රව්‍ය ඉවත් කළා. නාවික හමුදාපතිවරයා කියා සිටියා එහි කිමිදුණු නිලධාරීන් මේ පාලමේ යකඩ කණු දිරාගොස් ඇති බවට තමන්ට දැනුම් දුන් බව. මේ කණු දිරායාම බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. වතුරෙන් වැසී තිබෙන්නේ.‘‘
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය මෙසේ කීවාය.
‘‘මේ පාලම තිබෙන්නේ අවදානම් තත්ත්වයක බව අපි දැන් දීර්ඝ කාලක සිට කියනවා. පාලම හදලා තියෙන්නේ නියම ප්‍රමිතියකට අනුව නෙවෙයි. පාලමේ කණු අතර පරතරය අඩු නිසා නිතර එහි ගස් කොටන්, ගැලවී එන උණ පඳුරු හා වෙනත් අපද්‍රව්‍ය හිරවීමෙන් බරපතල ගැටළුවකට මුහුණ දෙනවා. ගංවතුර කාලයේ දී පමණක් නොවෙයි නිතරම මේ ප්‍රශ්නය තිබෙනවා. මේ පාලම අලුත්වැඩියා කිරීමෙන් වැඩක් නැහැ. තාවකාලික පාලමක් ඉදිකර එතැනට අළුත් පාලමක් සෑදිය යුතුයි‘‘
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පාලම මතින් ගල් හා වැලි ප්‍රවාහනය කරන බර වාහන ගමන් කිරීම සීමා කළ යුතුයැයි තීරණය කරන ලදී. පාලම සෑම මාස දෙකකටම වරක් පරීක්ෂා කර බැලීමටත් එහි හිරවී ඇති අපද්‍රව්‍ය සෑම මාස දෙකකට වරක් ඉවත්කිරීමට ද එහි දී තීරණය කරන ලදී.




