‘රාජපක්ෂ පවුලේ ෆයිල් යට ගසා නෑ‘


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600ක් පමණ තමා වැඩ බාර ගන්නා මොහොත වන විට කාර්යාලයයේ ගොඩ ගසා තිබුණු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

ඇය එලෙස කීවේ කොමිසමට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි යට ගසා ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇය කීවේ ඒවා යට ගසා නැති බවයි.

වැඩ බාර ගන්නා අවස්ථාව වන විට කාර්යාලයයේ ගොඩ ගැසී තිබූ පැමිණිලිගොනු වලින් දින හයක් ඇතුළත ගොනු 427ක් පරීක්ෂා කර අවශ්‍ය අංශ වෙත යොමු කළ බව ද ඇය කීවාය.

2015 ජනවාරියේ සිට මේ වන විට පැමිණිලි 521ක් ලැබී ඇති බවත්, ඒ අතර විදුහල්පතිවරුනට එරෙහි පැමිණිලි 31ක් ඇති බවත් ඒවා කඩිනමින් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු තමාගේ දෙවැනි නිවස බවත්, මුලින් තමන්ගේ ගෙදර පිරිසුව තබාගෙන පසුව අනෙත් ගෙවල් පිරිසිදුදැයි බැලිය යුතු නිසා කොමිසමේ නිලධාරියකුට එරෙහිව චෝදනා ඇත්නම් 076 70 11 954 අංකයට දැනුම් දෙන ලෙසත් පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනත් අයට ඇති පැමිණිලි සම්බන්ධයෙන් එම අංකයට දැනුම් නොදෙන ලෙස ද ඉල්ලා සිටියාය.

විමර්ශන අංශයේ නිලධාරීන් 49 දෙනකුගේ පුරප්පාඩු ඇතැයි ද කියැවිණි.

අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසද්දී ඇය කීවේ ඒ ගැන තමා නොදන්නා බවයි.

මාධ්‍යවේදියෙක් - දේශපාලනඥයන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කරන්නේ මන්දගාමීව නේද?

අධ්‍යක්ෂ ජනරාල් - නැහැ. එහෙම දෙයක් නෑ

මාධ්‍යවේදියෙක් - දැනට විමර්ශන පවත්වන දේශපාලනඥයන් කවුද?

අධ්‍යක්ෂ ජනරාල්වරිය - ඔවුන්ගේ රහස්‍ය භාවය රකින්න අප බැඳී සිටිනවා. නඩු පැවරූ පසු ප්‍රකාශ කළ හැකියි.

මාධ්‍යවේදියෙක් - ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එල්ල වුණු චෝදනා ගැන අධිකරණයට වාර්තා කරන්නට පෙර කොමිසමේ සභාපති මාධ්‍යයට ලබා දුන්නා නේද? ඇයි ඔබට බැරි?

අධ්‍යක්ෂ ජනරාල් - ඔහු එසේ ලබා දුන්නාදැයි මා දන්නේ නෑ. ඒත් මට බෑ ඒ නීතිය කඩන්න.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

_DSC0782 _DSC0847 _DSC0816