‘රාජකාරියේදී මිය යන සෞඛ්‍ය සේවක වැටුප පවුල්වලට දෙන්න ‘


(ඩයනා උදයංගනී)

රාජකාරියේ යෙදී සිටිය දී කොවිඩ් ආසාදනයවීමෙන් මියයන සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප ඔවුන්ගේ  පවුල් වෙත අඛණ්ඩව ලබා දෙන්නැයි ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර ඇත.

මේ වන විට සෞඛ්‍ය සේවකයන් 6,000 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් නව දෙනකු මිය ගොස් ඇතැයි එම සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

කොවිඩ් ආසාදනය වී මියයන පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට නියමිත කාලය අවසන් වන තුරු එම වැටුප ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බව දැනගන්නට ලැබී ඇතැයි ද සමන් රත්නප්‍රිය මහතා එම ලිපියේ දක්වා ඇත. 

එය ඉතා කාලෝචිත තීන්දුවක් බවත්  ඒ ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන්ද සාධාරණය ඉටු කරදෙන ලෙසත් ඔහු ඉල්ලා ඇත.