එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනිදා පැරීසියේදි ආරම්භ වී දෙසැම්බර් 12 වැනිදා අවසන් වුයේය. ලෝකයේ රාජ්‍ය නායකයෝ 147 දෙනෙකු සහ රටවල් 196ක රාජ්‍ය නිලධාරීන් 45000ක් සහභාගිවූ මෙම සම්මේලනයට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධාන නියෝජිත පිරිසක්ද සහභාගි වුහ.
එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට පසු රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වන මෙම සම්මේලනය ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් සමුළුවට පසු පැවැත්වෙන විශාලතම සමුළුව ලෙස සැලකේ. මෙම සමුළුවට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහභාගී වූහ. 45000ක් රාජ්‍ය නිලධාරීන් අතර සිටි එකම පූජ්‍ය පක්ෂ සාමාජිකයා වූ උන්වහන්සේ එසැණ සමග සාකච්ඡාවක් පැවැත්වූහ.
ප‍්‍රශ්නය:
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පැරීසියේ පැවැත්වූ ගෝලීය උෂ්ණත්වය හා පරිසර දූෂණය වැළක්වීමේ ජාත්‍යයන්තර සමුළුවට සහභාගි වුණා. එම සමුළුව ගැන හා ශ්‍රී ලංකාවට එම සමුළුවේ ඇති වැදගත්කම ඔබ වහන්සේ විස්තර කරන්නේ කෙසේද?
පිළිතුර:
මෙම විෂය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම බලපාන ප‍්‍රශ්නයක්. නිරීක්ෂකයකු ලෙසත් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය මට්ටමේ කණ්ඩායම් වලටත් මෙම සමුළුවේදි මම සහභාගි වුණා. ලෝක ගෝලීය උෂ්ණත්වයේ වෙනස්වීම වළක්වා ගැනීම මෙම සමුළුවේ ප‍්‍රධාන අරමුණයි. මීට අවුරුදු සියයකට පමණ පෙර ගල් අඟුරු තෙල්, ගෑස් වගේ දේ පෘතුවියෙන් බලශක්තියක් ලෙස සොයා ගැනුණා. එම නිසා ගල් අඟුරු, තෙල්, ගෑස් වලින් පිරි බලශක්ති ලෝකයක් බිහිවුණා. මෙම බලශක්ති සොයා ගැනීම හා නිෂ්පාදන ක‍්‍රියාවලියේ අතුරු පලයක් ලෙස කාබන්ඩයොක්සයිඞ් වායුව පරිසරයට මුදා හැරිණි. යුරෝපය ඇමෙරිකාව වගේ රටවල් මෙම සංවර්ධනය කරා පැමිණීමට ඉහත බලශක්ති යොදා ගැනීමෙන් මෙම වායුව පරිසරයට එක් වුණා. අද වන විට පරිසරයට එක්වන මෙම වායුව ගණනය කිරීමට ක‍්‍රමවේදයන් සොයා ගැනීම හේතු කොට එක් එක් රටවල් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ගණනය කිරීමට හැකිවී තිබෙනවා.
ඊළඟට මෙම වායුව පරිසරයට එක්වීමෙන් හා මිනිසා වන සම්පත් විනාශ කිරීමෙන් ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලිය අඩපණ වීමත් හේතු කොට ලෝක ගෝලයේ සමස්ත උෂ්ණත්වය ඉහළ යෑම ආරම්භ වුණා. පෘථිවිය සමස්තයක් ලෙස සැලකුවොත් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1කින් ලෝක උෂ්ණත්වයේ ඉහළ යෑම නවතා ගැනීමට මීට අවුරුදු 30කට පෙර මෙවැනිම සමුළුවකින් තීන්දු කළද අද වනවිට එය අංශක 1.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතාමත්ම භයානක අවස්ථාවක් මෙන්ම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු විෂයක් බවට පත්වී තිබෙනවා. එබැවින් අංශක 2ක් දක්වා ඉහළ යෑම නවතා ගැනීම පැරිස් සමුළුවේ ප‍්‍රධානම අරමුණයි.
ඉහත සඳහන් ලෙස ගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් පරිසරයට සිදුවන හානිය රටවල් ලෙස සිතියම් ගත කොට තිබෙනවා. ඒ අනුව අංශක 2 දක්වා වැඩිවීම යනු බොහෝ රටවලට විශාල ලෙස හානි සිදුවෙනවා. අපේ රට ගැන සැලකුවොත් කොළඹ සහ ඒ අවට අපේ මුහුද කි.මී 15ක් පමණ රට ඇතුළට පැමිණීමට ඉඩ තිබෙනවා. යාපනය හා ඒ අවට සම්පූර්ණයෙන්ම මුහුදෙන් යට වෙනවා. ඉතින් හිතා ගන්නකෝ කොහොමද තත්වය කියලා? එබැවින් මෙය අපේ රට ගැන පමණක් නොවේ, මුළු ලෝකයම ගැන සිතමින්, එලෙස කටයුතු කිරීමටත් එයට සරිලන ක‍්‍රමයන්ට හැඩ ගැසීමටත් අනිවාර්යය කොට තිබෙනවා. එම නිසා අපේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම තිරසාර දිශාවකට ගෙන යෑමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ හා අගමැති තුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල ඒ බව අපි සඳහන් කොට තිබෙනවා. ඒ සඳහා මේ වනවිට නිවැරැදි වැඩ පිළිවෙළක් සැලසුම් නොකළත්, එය ආරම්භ කොට තිබෙනවා. උදාහරණයක් ලෙස අපේ ගොවියෝ කෘමිනාශකයක් ලෙස භාවිතා කළ ග්ලයිෆොසෙට් ගෙන්වීම අපි තහනම් කර තිබෙනවා. වසවිස වලින් තොර අහාර නිෂ්පාදනයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉහත මුලික විෂය සම්බන්ධව ලෝකයේ බලගතු රටවල් විවිධ මතවාද පෙරටුකොට වාද විවාද කරමින් සිටියත් මෙවර පැරිස් සමුළුවේදි යම් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණීමට සියලු රටවල් එකඟවීම මත ඉදිරි අනාගතය ගැන සුබදායක පරිසරයක් ඇතිවේ යැයි බලාපොරොත්තු වෙනවා.
ප‍්‍රශ්නය:
බුදු දහම, පරිසරය හා මිනිසාගේ වගකීම යන කරුණු ඉහත සමුළුව හා බද්ධ වන්නේ කෙසේද?
පිළිතුර:
බුදු දහමට අනුව සැලකුවොත් දැන් මිනිසුන්ගේ ආශා වැඩියි. මේ ආශා ඔක්කොම ඉටු කරන්න මේ ලෝකය මදි. ඒකයි දැන් වෙලා තියෙන්නේ. තන්හාව හා මමත්වය වැඩියි. බුදු දහමේ කියන්නේ තන්හාව නැති කරන්න. ඒ සඳහා තාක්ෂණික බොහොම සරල ක‍්‍රම තුනක් අපට බුදු දහමේ උගන්වනවා. මම කියන්නේ කවුද? කියලා අවබෝධ කරගන්න. මම මැරෙන කෙනෙක්. මගේ ආශා තාවකාලිකයි. මේ සියලු දේ කවදා හෝ අපි දාල යන්න ඕනෑ. මේ ටික හොඳ මනසකින් අවබෝධ කර ගැනීම ඉතාම අවශ්‍යයයි. සරලව සාමුහිකව සතුටින් ජීවත් වීමයි අවශ්‍ය වන්නේ. මහා ලොකු දේ කරන්න යන්න අවශ්‍යය නැහැ. මෙය සංකීර්ණ ක‍්‍රියාවලියක් වුවද මේ සඳහා මතවාදයක් බුදු දහමේ උගන්වනවා. බෞද්ධ දර්ශනයට අනුව කරුණාව, මෛත‍්‍රිය දියුණු කර ගැනීම, සොබා දහමට ආදරය කිරීම, සතා සිව්පාවට හා ගසට කොළයට ආදරය කිරීම, සියලු සත්වයන්ට ආදරය කරන ලෙස අපේ බණ පොත් වල උගන්වන දෙයක්නේ.
අපි සැවොම එලෙස හැඩ ගැහෙනවා නම් මේ පරිසරය කොතරම් සුන්දර වේවිද? සියලූ සත්වයෝ සුවපත් වේවා! යනු මේ ලෝකයේ ඉදිරි තේමා පාඨය බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එම නිසා බුද්ධාගමට, එම සිතුවිලි වලට මෙන්ම බෞද්ධයන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. මෙහේ අපේ බෞද්ධයෝ ඇතැයි මම නම් සිතන්නේ නැහැ. අපේ රටෙත් එහෙමයි. වැඩි හරියක් ඉන්නේ උප්පැන්න බෞද්ධයෝනේ. නිවැරදි බෞද්ධයන් ලෙස ජීවත් වෙනව නම් මේ රට වලදිත් අපට විශාල ගෞරවයක් ලැබෙනවා. බුදු දහම ඉතාම වටිනා දර්ශනයක් ලෙස දැන් ලෝකය පුරාම මතවාදයක් ගොඩ නැගෙමින් පවතිනවා. මටත් ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ එම නිසයි.
ප‍්‍රශ්නය:
පැරිස් සමුළුවට රටවල් 196කින් සහාභාගීවූ රාජ්‍ය නිලධාරීන් 45000 ක් අතරින් පූජ්‍ය පක්ෂය නියෝජනය කළ එකම නියෝජිතයා වන්නේ ඔබ වහන්සේය. මෙම දුර්ලභ අවස්ථාව ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
පිළිතුර:
භික්ෂුවකට ලැබුණු බොහෝම දුර්ලභ අවස්ථාවක්. බෞද්ධ භික්ෂුවක් නිසා විශේෂ ගෞරවයක් මෙන්ම පිලිගැනීමක් තිබුණා. එය අපේ භික්ෂු සමාජයටම ගෞරවයක්. එයට හේතුව බුදු දහමයි. යුරෝපය බුදු දහමට විශේෂ ඇල්මක් දක්වනවා. මෙම සමුළුව මට හොඳ අත්දැකීමක්. බොහෝ දේ ඉගෙන ගත්තා. පරිසර හිතකාමී වටිනා මිනිසුන්, විද්‍යාඥයෝ, සුප‍්‍රසිද්ධ මාධ්‍යවේදීන්, උපදේශකයෝ, ප‍්‍රසිද්ධ රාජ්‍ය නිලධාරීන් වැනි අය හමුවීමට අවස්ථාව ලැබුණා. ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ සඟරා දෙකක් හා පුවත් පත් දෙකකට මගේ සම්මුඛ සාකච්ඡා ලබා ගත්තා. ප‍්‍රංශ ජනාධිපති මුණගැසී පරිසර දූෂණය සම්බන්ධව අපේ රටේ ස්ථාවරය පැහැදිලි කරදීමටද අවස්ථාව ලැබුණා. මේ සියලූ දේවල් ලැබුනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තනතුරක් මට ලැබුණ නිසයි. මම හිතනවා රට වෙනුවෙන් යම් සේවයක් සිදුකළා. එය සලකා මන්ත‍්‍රී තනතුරක් හිමිවුණා. රට වෙනුවෙන් උපරිම සේවය කිරීමට එම තනතුර යොදා ගන්නවා.
ප‍්‍රශ්නය:
ඔබ වහන්සේද ඇතුළත් නව ජාතික රජයේ ප‍්‍රථම අයවැය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
පිළිතුර:
යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා අපි හදා ගන්න ඕනෑ. සංශෝධන මගින් අපිට ඒවා හදා ගන්න පුළුවන්. ඉලෙක්ටි‍්‍රක් වාහන වලට බද්දක් අයකිරීම එතරම් සුදුසු නැහැ. එවැනි දේවල් වෙනස් කළ යුතුයි. එසේ නොමැතිව පොදුවේ ගත් කළ එතරම් නරක අයවැයක් නොවේ. සංශෝධනය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟ එම කරුණු ගැන මම ඉදිරියේදි කථා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ප‍්‍රශ්නය:
පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයට අමතරව විමල් වීරවංශ, සෝමවංශ අමරසිංහ, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ප‍්‍රධානීන් ඇතුළත් විපක්ෂයක් ගොඩ නැගෙමින් පවතිනවා. එම කණ්ඩායමට අනාගතයක් තිබේද?
පිළිතුර:
එය තීරනය වන්නේ; අපි වැඩ කරන ආකාරය අනුවයි. අපි හරියට වැඩ කළොත් එයාලට අනාගතයක් නැතිවේවී. අපි වැරදියට වැඩ කළොත් ඔවුන්ට අනාගතයක් තියේවි. අපට අනාගතයක් නැතිවේවී. එම නිසා අපි නිවැරදිව වැඩ කළාම අනාගතය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එබැවින් අපි නිවැරදිව වැඩ කරමු.
ප‍්‍රශ්නය:
සුද්දන්ගේ උසාවිය හා ජාතියේ අවනඩුව” මැයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගියදා පැරීසියේදි දේශනයක් පැවැත්වූ අතර, අපේ රට හා යුද්ධය ජයගත් රණවිරුවන් අධිරාජ්‍යවාදීන්ගේ දඬුකඳ වෙත රැගෙන යෑමට වර්තමාන පාලකයන් ක‍්‍රියා කරන බවත් එයින් ජාතික ආරක්ෂාව අනතුරේ බවත් චෝදනා කරනවා. මෙම චෝදනාව ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම කෙසේද?
පිළිතුර:
එතුමා එහෙම අදහස් ප‍්‍රකාශ කළාට නම් කමක් නැහැ. නමුත් අපි ආණ්ඩුවේ ඉන්න තුරු රණවිරුවන් හිරේ දාන්නවත් රටේ ජාතික ආරක්ෂාවට හානියක් වෙන්නවත් ඉඩ තියන්නේ නැහැ. අපි ඒ ගැන දැඪී අවධානයෙන් ඉන්නවා. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කර ගන්න එපා.
ප‍්‍රශ්නය:
පැරීසියේ පරිසර සමුළුවට පැමිණි ඔබ වහන්සේ ”බුදු දහම හා පරිසරය” ,
”පරිසරය හා මිනිසාගේ වගකීම” මැයෙන් මහජන දේශණ දෙකක් පැරීසියේදි පවත්වනු ලැබුවා. පැරීසියේ සිටි කාලය තුළ ඔබ වහන්සේ එහි ශ්‍රී ලාංකික විහාරස්ථාන වලට වැඩම කළාද?
පිළිතුර:
සමුළුවට සූදානම් වීම සඳහා පළමු දින කිහිපයේ හෝටලයක නවාතැන් ගත්තා. පැරීසියේ අපේ විහාරස්ථාන හතරක් තිබෙනවා. ඥාණිස්සර හිමියන් බොහෝ කලක සිට මම හඳුනනවා. උන්වහන්සේ මේ දිනවල ලංකාවට වැඩම කරලා. පරවාහැර චන්ද්‍රරතන හිමියන්, කෝ ආනන්ද හිමියන්, හා සුමංගල හිමියන්ගේ විහාරස්ථාන වලත්, ප‍්‍රංශ ජාතිකයන්ගේ නිවෙස් වලත්, අපේ ශ්‍රීලාංකික මිතුරන්ගේ නිවෙස් වලත් මම නවාතැන් ගත්තා. පැරීසියේ අපේ ස්වාමීන් වහණ්සේලාත් රට වෙනුවෙන් විශාල සේවයක් සිදුකරනවා. පරිසර දූෂණය සම්බන්ධව උන්වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමටත් මට අවස්ථාව ලැබුණා. ඉහත සියලූ දෙනාම ඉතාමත්ම කාරුණිකව මට උදව් උපකාර කළා. ඒ සියලූ දෙනාටම මම ස්තුති වන්ත වෙනවා.


