‘මිනිසුන් භූමදානය කියන වචනයේ තේරුම දන්නවාද‘


(කාංචන කුමාර ආරියදාස)
 

ලෝකයේම මිනිසුන් ජීවත් කරවනු ලබන්නේ පරිසරය සහ මහපොළොව බවත්, මිනිසෙකු මිය යෑමෙන් පසු මහපොළොවට ගෞරව කිරීම සහ දානය පිණිස මළ සිරුර  භූමදානය කළත්  වර්තමානයේ   එම සිරුර   පුළුස්සා වා තලයට විස බීජ එක් කරන සමාජයක් උදාවී ඇතැයි  ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.
 
‘රකිමු සොබා‘ නමින් කොස් පැළ දස දහසක් රෝපණය කිරීමේ උත්සවයක් දඹුල්ල ඉබ්බන්කටුව  (rancrisp)  නැමති පෞද්ගලික ආයතනය විසින් ආරම්භ කළ අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අද (26)  පැවැති උත්සවයකදී  ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ එසේ සඳහන් කළහ.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවවලට තමන් ද සහභාගී වී තිබෙන බවත්  එම උත්සව විශාල මුදල් වියදම් කර අවසානයේ දී කිසිදු ප්‍රතිඵලයක් නොමැති උත්සව බවද හෙතෙම සඳහන් කළේය. ගංවතුර ගැලීම, නායයෑම, අකුණු ගැසීම ආදී ස්වාභාවික විපත්වලදී සෑම රජයක්ම කරනු ලබන්නේ  විපතට පත් ජනතාවට ආධාර ලබාදීම විනා ඒවා ඇතිවෙන  හේතුවට ප්‍රතිකාර  නොකිරීම බවත් එහීදී කියා සිටියේය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ මෙසේද කීහ

"එදා විදේශිකයන් පැමිණ මේ රටේ කිතුල් ගස, ගංජා ගස විනාශ කළා වගේම මේ රටට දැවැන්ත පරිසරයට සතා සිවුපාවට මිනිස්සුන්ට  මහපොළොවට සහයෝගයක් ලබා දුන් මී ගස ද විනාශ කළා.  මේ  රටේ මිනිසුන්ගේ ආසාවයි තණ්හාවයි තරගයයි නිසා මහා පරිසර විනාශයක් වෙනවා. එය නැවතුණේ නැත්නම්  සියලු දෙනාට විශාල  ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවෙනවා. රටේ ජීවත්වෙන සෑම අයෙකුම පරිසරයට ණය ගැතියි.  ඉපදුණ දවසේ ඉඳලා මියයන දක්වාම මිනිසුන් ජීවත් කරවන්නේ පරිසරය නමුත් එය බොහෝ දෙනකුට අමතක වෙලා.

අම්මලා, තාත්තලා ජීවත්වෙන්න උදව් කරන එකට වගේම හුස්ම ගැනීම සඳහා පරිසරය ගහකොළ විශාල දායකත්වයක් ලබාදෙනවා.  පරිසරයට ණය ගෙවන්න ඇත්තේ ක්‍රම දෙකයි. පළමු ක්‍රමය  මිය ගිය පසු මළ සිරුර භූමදානය කළ යුතුයි. භූම  දානය යන වචනයේ  තේරුම බවට පත්වෙන්නේ තමාට ජීවත්වීමට උදව් කළ මහපොළොව ගහකොළට දිරා යන සිරුර මිහිදන් කර එහි සාරෙන් ගහකොළට වැඩෙන්නට දානය  දෙන්න ඕනි කියන එක. නමුත් වර්තමානයේදී  එය ද සිදු නොකර  බොහෝ දෙනෙකු මියගිය පසු මළ සිරුර පුළුස්සා වාතලයට විෂ වායුවක් එකතු කරනවා.

දෙවැනි කාරණාව බවට පත් වෙන්නේ ජීවත්ව සිටින කාලයේ මහපොළොවට පරිසරයට ගහක් කොළක් සිටුවීමයි. පරිසරයේ ගස් කොළ කපා දමා මුදල් හම්බ කර අවසානයේදී  හුස්ම ගන්නට නොහැකි වුණොත් මුදල් ආහාර බවට ගන්න පුළුවන්ද?‘

ඌරුවරිගෙ වන්නිල ඇත්තන් අතින් ජනතාවට නොමිලේ කොස් පැළ බෙදා දීම සහ කොස් පැළ  සිටුවීමේ ක්‍රියාවලියක් ද සිදු කෙරිණි. මෙම කොස් පැළ සිටුවීමෙන් පසු එහි පසු විපරමක් ලෙස තාක්ෂණය උපයෝගී කරගෙන මාසෙන් මාසයට එහි වැඩීම පිළිබඳව දත්ත එක්රැස් කිරීම ද මෙම ආයතනය මගින් කෙරිණි.