‘මහත්තයා බේරාගත් බව මහ කොමසාරිස් කිව්වා‘


රුපියල් කෝටි 50ක කප්පමක් ඉල්ලා නයිජීරියාවේදී පැහැර ගැනුණු ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස (68) මහතා බදාදා සවස නිදහස් කර ගත් බව නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තමාට දැනුම් දුන් බව වේයන්ගොඩ පදිංචි කරුණාදාස මහතාගේ බිරිඳ කේ.ඒ.යසවතී මහත්මිය කියන්නීය.

කප්පම් මුදල ගෙවා කරුණාදාස මහතා නිදහස් කරගත් බවත් එය ගෙව්වේ කව්ද යන්න තමන් නොදන්නා බවත් සැමියා නිදහස්වී පැමිණ නයිජීරියාවේ නිල නිවසේදී අද (28) පෙරවරුවේ තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් ඇය පැවසුවාය.

තමා සුවසේ සිටින බව කරුණාදාස මහතා පවසා ඇතැයිද වැඩි විස්තර ප්‍රකාශ නොකළ බවද යසවතී මහත්මිය කීවාය.

නයිජීරියාවේ පවත්වාගෙන යන ඉතාලි ඉදිකිරීම් සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස සේවය කරන කරුණාදාස මහතා පසුගිය 18 වැනිදා සේවා අවශ්‍යතාවයක් සඳහා නිල රථයෙන් යමින් සිටියදී ත්‍රස්ත කල්ලියක් විසින් වෙඩි තබා ආරක්ෂක පොලිස් නිලධාරීයා ඝාතනය කොට ඔහුව පැහැරගෙන නයිජීරියාවේ වනාන්තරයක රඳවාගෙන සිටි බව කියති.