(මුදිතා දයානන්ද)
මහානායක හිමිවරුන් ශාසනයේ යුතුකම නිසි පරිදි ඉටු කරන්නේ නම් භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුව යනවාද, දේශපාලනය කරනවාද ආදී ප‍්‍රශ්න පැන නගින්නේ නැති බව රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ අද (06) පැවසූහ.
සෝභිත හිමියෝ මෙසේ පැවසුයේ ජාතික පුස්තකාල ප‍්‍රලේඛනයේදි පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එම්සීසි ගිවිසුම, එට්කා ගිවිසුම, සුනාමි සහන මණ්ඩලය ස්ථාපිත කිරීම වැනි රටට හානිකර ගැටලූ පැන නැගි අවස්ථාවලදි මහානායක හිමිවරුන් ඒවාට එරෙහිව හඬ නගනු තමන් වහන්සේලා දැක නැති බවද සෝභිත හිමියෝ පැවසූහ.
භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුමය කියන අදහසක තමන් වහන්සේට නැති නමුත් අවශ්‍යතාවය අනුව එසේ නියෝජනය කිරීමේ ගැටලූවක් නැති බවද උන්වහන්සේ පැවසූහ. එහෙත් භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු නොයන පරිදි කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි හිමියෝ කරන ප‍්‍රකාශයෙන් භික්ෂුවට රට වෙනුවෙන් කටයුතු කරන්න තිබෙන අවස්ථාවක් අහිමි කරමින් උන්වහන්සේලා පන්සල තුළට කොටු කිරීමේ ස්වභාවයක් පැන නගින්නේ යැයිද සෝභිත හිමියෝ පැවසූහ.
දේශපාලනය යන්න උතුම් කාර්යයක් වන අතර එය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව බුදුන් වහන්සේ ඉතාමත් මැනවින් පෙන්වා දි ඇති බවද උන්වහන්සේ පැවසූහ. ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන ලෙස බුදුන් වහන්සේ පෙන්වා දි ඇති බවද උන්වහන්සේ පැවසූහ.
භික්ෂුන් වහන්සේලා නියෝජනය කළ යුත්තේ සිංහල බෞද්ධ පක්ෂය පමණක් වන අතර මහානායක හිමිවරුන් කළ යුත්තේ එවැනි පක්ෂ නියාමනයකට ලක් කිරීම බවද සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

