‘මම කටයුතු කළේ චක‍්‍රලේඛයට අනුවයි‘


තමන් අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛයට අනුව කටයුතු කළා මිස කුඩා දරුවන් අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකළ බවත් දෙමාපියෙන් චක‍්‍රලේඛයේ සඳහන් වන දේ නිසි පරිදි වටහා නොගත් බවත් පොළොන්නරුව, හිඟුරක්ගොඩ, උදාරගම ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති,රෝහිත කමල් ධර්මසේන මහතා පවසයි. 

‘විදුහල්පති විසින් සිසුන් 40 ක් එළියට දමා පාසලේ ගේට්ටුවට ඉබ්බා දමයි‘ යනුවෙන් පසුගිය 16 වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ධර්මසේන මහතා මේ බව ලිඛිතව ප‍්‍රකාශ කර සිටී. 

පොළොන්නරුව, හිඟුරක්ගොඩ,උදාරගම ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, රෝහිත කමල් ධර්මසේන මහතා සිදුවීම සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිළි කර සිටී. 
ප‍්‍රාථමික පාසලක සිසුන්ට ප‍්‍රධාන අවධි තුනක් ඇති අතර ඉන් දෙවන ප‍්‍රධාන අවධියේදී එනම් 3-4 -- ‍ශ්‍රේණි ඉගැන්වූ ගුරුවරියම තෙවන ප‍්‍රධාන අවධියට එනම් 5 ශ්‍රේණියටද දෙමව්පියන් විසින් ඉල්ලා සිටින ලදි. දෙමාපියන් එසේ ඉල්ලා සිටි නමුත් එය 13/2012 අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේකයට පටහැණිය.

 එබැවින් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් මත, 5 ශ්‍රේණියට ඉගැන්වීම් කරන ගුරුවරියන් දෙදෙනාගේද කැමැත්ත මත, පන්ති දෙකේ ගුරුවරියන් වෙනස් කරනු ලැබිණ. 

එයට අකමැති වූ දෙමව්පියෝ පිරිසක් පසුගිය 16 වැනිදා උදෑසන සිසු දරුවන් පාසල් නොයවා පාසලෙන් පිටත රඳවාගනිමින් උද්ඝෝෂණයක යෙදෙන බව වෙනත් දෙමව්පියන් පිරිසක් විසින් මා හට පවසන ලදි. 

විදුහල්පතිවරයා වශයෙන් සිසු දරුවන්ට පාසල තුළට පැමිණෙන ලෙස මා දන්වා සිටියද දෙමව්පියන් ඊට එකඟ නොවූහ. පසුව ඒ පිළිබඳව අදාළ අධ්‍යාපන බලධාරීන්ට මවිසින් දුරකතනය ඔස්සේ දැනුවත් කරන ලදි. පාසලේ පැවති උත්සවයක්ද එදිනට නියමිතව තිබූ අතර එය සංවිධානය කළ පළමු ශ්‍රේණියේ දෙමව්පියන් මගින් පාසල ඉදිරිපිට සිටි සිසු දරුවන්ට කිරිබත් සංග‍්‍රහයක්ද පැවැත්වුණේ මගේ පූර්ණ අනුමැතිය ඇතිවය. 

කෙසේ නමුත් ලංකාදීප අන්තර්ජාල වාර්තාවේ සඳහන් වන්නේ විදුහල්පතිවරයා වන මා සිසුන් 40 ක් පාසලෙන් පිටතට දමා ගේට්ටුව ඉබි යතුරු දමා වසා ඇති බවයි. මේ ආකාරයේ ක‍්‍රියාවක් කිරීමට මට අවශ්‍යතාවක් හෝ හේතුවක් නොතිබූ අතර මෙම ප‍්‍රවෘත්තිය කරුණු වරදවා වටහාගැනීමෙන් ලියන ලද්දක් බව ඉතාම පැහැදිළිය. 

මැදිරිගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාත්, හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියත් උතුරු මැද පළාත් ප‍්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියත් ප.ව 1.40 ට පමණ පාසලට පැමිණ විදුහල්පති සහ ගුරු මණ්ඩලය සමග දෙමව්පියන්ට කරුණු පැහැදිලි කර දී ප.ව 4.00 ට පමණ වන විට පාසලෙන් පිටව ගිය බවත් අධ්‍යාපන බලධාරීන් මාගේ කි‍්‍රයා කලාපයේ වරදක් නොදුටු බවත් කියනු කැමැත්තෙමි. 

 ( 16 වැනිදා පළ වූ පුවතේ සබැඳිය පහත දැක්වෙයි.)

විදුහල්පති සිසුන් 40ක් එළියට දමා පාසලේ ගේට්ටුවට ඉබ්බා දමයි