‘බොබ්මාලේ’ගේ බිරිය ඇතුළු තිදෙනකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර


(නිමන්ති රණසිංහ)

බේරුවල හෙරොයින් සිද්ධියට අදාළව අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන චමින්දත් තාබෲ නොහොත් "බොබ්මාලේ" සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු ලබන 15 වන දා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (10) අවසර ලබා දුන්නා ය.

ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමට අවසර ලබා දුන්නේ චමින්ද තාබෲ නොහොත් බොබ්මාලේ, ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි සුජානි වික්‍රමරත්න සහ මොවුන් දෙදෙනාට සැඟව සිටීමට රැකවරණය ලබාදුන් ඇල්පිටිය ප්‍රදේශයේ සිසිර කුමාර නොහොත් "ඇලා" යන අයවලුන් විටය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර වාර්තාවක් මගින් සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් විය.

මෙම සැකකරුවන් බේරුවල දකුණු මුහුදු තීරයේ දී ඉකුත් දා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි තුන්සියයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සඳහා සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරනයෙන් අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කර ලබන 15 වැනිදා සවස 2 ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙම කාර්යාංශයට නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත එහි සහකාර පොලිස් අධිකාරී තරංග සේමසිංහ සහ පොලිස් පරීක්ෂක ,පැතුම් කුමාර යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.