‘බුද්ධාගමට ඇති තැනත් - විධායක ජනපතිධුරයත් එලෙසින්ම ඕනෑ‘


(විනීතා එම් ගමගේ)

බුද්ධාගමට පළමු හා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් දී ඇති සුවිශේෂී තැන එහි ඇති වචනවලින්ම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහිත් සඳහන් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

පවතින විධායක බලතල සහිත ජනාධිපති ධූරය දිගටම පැවැතිය යුතුය  යන ස්ථාවරයේ තම පක්ෂය සිටින බවත් ඒ හැරුනු විට  13 වන ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම බලය බෙදා හැරිමට තම පක්ෂය එකඟ බවත් සමරසිංහ මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  

‘‘ව්‍යවස්ථා තේරිම්කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ ඒ සඳහා සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි, ඒ වගේම ජවිපෙන් අනුර බිමල් මන්ත‍්‍රීවරුන් දෙදෙනා, සම්බන්ධන්, සුමන්තිරන් මන්ත‍්‍රීවරුන් දෙදෙනා , පාඨලි චම්පික අමාත්‍යවරයා, දිනේෂ් ප‍්‍රසන්න මන්ත‍්‍රීවරුන්  දෙදෙනා, යන අයත් රිෂාඞ්, ඩග්ලස් රවුෆ්, මනෝ යන මන්ත‍්‍රීවරුන් වෙනම එකතුවෙලාත්  තමන් ගේ ස්ථාවරය දීල තිබෙනවා. ඒ වගේම ජයම්පතී වික‍්‍රමරත්න මහතා තම ස්ථාවරය දීලා තිබෙනවා.
මේ රටේ ඉන්නේ සියයට 70 ක් බෞද්ධයෝ. මේක නිකම් ගොඩ නැගුනු දෙයක් නොවෙයි. මේ තැන දිල තියෙන්නේ දිය යුතු තැන හඳුනාගෙනයි. ඒ බව අපි පැහැදිලිව කියල තියෙනවා.

19 වන සංශෝධනයේ දී සංශෝධනය කළ කොටස් හැර දැනට ඇති පදවිය තිබිය යුතු බව අපේ අදහසයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ වෙලාවේ අග විනිසුරු ෂර්වානන්දන් කිව්වා මේ 13 වන සංශෝධනය ව්‍යවස්ථාවට සම්බන්ධ කරද්දි ඒක ෆෙඩරල් වෙන්නේ නැහැ කියලා.
ආණ්ඩුකාරවරයා  පත් කිරීම තුළ අවශ්‍ය ආරක්ෂාව දී තිබෙනවා. පළාත් සභාව ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කළොත් පළාත් සභාව විසුරුවා හැරිමට පවා ආණ්ඩුකාරවයාට බලය තිබෙනවා. උතුරේ මහ ඇමති පරස්පර විරොධීව කටයුතු කරන අවස්ථා අපි දැනටත් දකිනවා. රටේ ඒකීය භාවය ආරක්ෂා විය යුතුයි. මේ පදනමේ සිට ගෙන අපි සාකච්ඡා කරමින් මේ ස්ථාවරයට ආවේ. පොලිස් බලතල ඉඩම් බලතල ගැන කථා කළ යුතුයි. මේ හැරුණු විට අපි 13 වන සංශෝධනයට එකඟයි. අපි බලය බෙදා හැරීමට පක්ෂයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.