‘බිලියන දහයක ලංසුව බාරගැනීමෙන් මූල්‍ය වෙළෙඳපොල කැළඹුණා‘


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දුරකථනයෙන් කළ දැනුම් දීමකට අනුව රුපියල් බිලියන 10ක ලංසුව භාරගැනීමෙන් අනතුරුව සති තුනකට පසුව සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් වූ මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ හා මහ බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ රැස්වීමක් සංවිධානය කළා යැයි බැඳුම්කර  කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී යු.එල්. මුතුගල මහත්මිය පැවසුවාය.

රුපියල් බිලියන 10ක ලංසුව භාරගන්නැයි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දුරකථනයෙන් කළ දැනුම් දීමකට අනුව වෙන කිසිවක් කිරීමට නොහැකි වු තැන එම ලංසුව භාරගැනීමට තමන්ට සිදුවුණා යැයි මුතුගල මහත්මිය කීවාය.

බැඳුම්කර  නිකුතුවක් සිදුකළ කිසිමදාක මහබැංකුවේ හිටපු අධිපතිවරයෙකු බැඳුම්කර  නිකුතුව සිදුවන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ට නිලධාරින් සමග සාකච්ඡා කොට නැතැයි කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුතුගල මහත්මිය පැවසුවාය.

රුපියල් බිලියන 10ක ලංසුව බාරගැනීම නිසා  මුල්‍ය වෙළඳ පොළ කැළඹීමට ලක් වු බවද  මුතුගල මහත්මිය කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාගය සිදු කෙරේ.

 

ප‍්‍රශ්නය. මෙම බැඳුම්කර  නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් හෝ ඔබට කතා කළාද?

පිළිතුර. ඔව් අපේ ඉදිරි කාර්යාලයට දුරකථන ඇමතුම් ආවා.

ප්‍රශ්නය. ඒ ඇමතුම්වලදී ඔබ ආයතනය මොනවද කිව්වේ?

පිළිතුර. සිදුවී ඇති තත්ත්වය ඔවුන්ට පැහැදිලි කළා.

ප්‍රශ්නය. ඔබ බැංකුව එලෙස පැහැදිලි කිරීම් කළේ කාටද?

පිළිතුර. ප‍්‍රාථමික ගැණුම්කරුවන් ලෙස කටයුතු කරන බැංකු වලට හා සේවක අර්ථසාදක අරමුදලට.

ප්‍රශ්නය. අනිත් ප‍්‍රාථමික ගැණුම්කරුවනුත් ආවාද?

පිළිතුර. නැහැ.

ප්‍රශ්නය. අනිත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් මොනවද කළේ?

පිළිතුර. ඔවුන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවීමට තීරණය කළා.

ප්‍රශ්නය. ඔවුන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවුණාද?

පිළිතුර. ඔවුන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවීමට ගියත් ඔහු කාර්යාලයේ හිටියේ නැහැ.

ප්‍රශ්නය. ඊට පසු මොකද වුණේ?

පිළිතුර. සමරසිරි මහතා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකථනයෙන් කතා කළා.

ප්‍රශ්නය. සමරසිරි මහතා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකථනයෙන් කතා කළ පසු මොකද වුණේ?

පිළිතුර. සමරසිරි මහතා ඇවිත් කිව්වා මේ ලංසුව භාරගන්නැයි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කිව්වා කියලා.

ප්‍රශ්නය. ඒ අනුව ඔබලා ඒ ලංසු භාරගත්තාද?

පිළිතුර. ඔව්. අපිට වෙන කරන්න දෙයක් නොතිබු නිසා එම ලංසු භාරගන්න අපි එකඟ වුණා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මහෙන්ද්‍රන් මහතා නිර්දේශ කළ ලංසුව භාරගත් පසු පුවත් පත් නිවේදනයක් නිකුත් කළාද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය. ඊට පසු මුල්‍ය වෙළඳ පොළේ තත්ත්වය කෙසේද?

පිළිතුර. මුල්‍ය වෙළඳ පොළ මේ තීරණය සම්බන්ධයෙන් සතුටු වුයේ නැහැ.

ප්‍රශ්නය. මුල්‍ය වෙළඳ පොළේ තත්ත්වයෙන් පසු මොනවත් වුණාද?

පිළිතුර. මහෙන්ද්‍රන් මහතාගේ නිර්දේශය වුණේ රුපියල් බිලියන 10ක ලංසුව ථලදායිතා අනුපාතය 11.75යි.

ප්‍රශ්නය. ඉන් පසු මොනවද කළේ?

පිළිතුර. අපි මහෙන්ද්‍රන් මහතාගේ නිර්දේශය පිළිබ`දව ටෙන්ඩර් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා.

පිළිතුර. ඔබලා කළ එම පැහැදිලි කිරිම් ටෙන්ඩර් මණ්ඩලය පිළිගත්තාද?

පිළිතුර. නැහැ. ටෙන්ඩර් මණ්ඩලයේ කිසිදු සාමාජිකයකු ඒ කරුණු පිළිගත්තේ නැහැ.

ප්‍රශ්නය. ඔහු පිළිගත්තාද?

පිළිතුර. ඔහු එයට එකඟ වුණා. පසුව ඔහු රජයේ ණය අවශ්‍යතාව  පිළිබඳව පැහැදිලි කළා.

ප්‍රශ්නය. ඔබලා ඊට එකඟ වුණාද?

පිළිතුර. අපිට එකඟවන්න සිදුවුණා.

ප්‍රශ්නය. ඔබලාට එකඟවන්න සිදුවුණා කියලා කියන්නේ ඇයි?

පිළිතුර. ඒ වන විට වෙන්දේසි ක‍්‍රමයට බැඳුම්කර  නිකුත් කිරීම සඳහා ඝෘජු ස්ථාන ක‍්‍රමය නවතා දමා තිබුණා. ඒ නිසා එයට එකඟවීමට අපිට සිදුවුණා.

ප්‍රශ්නය. ඒ වේලාවේ ආචාර්ය ආර්ෂින් මහතා මොනවද කළේ?

පිළිතුර. ආචාර්ය ආර්ෂින් මහතා නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනාගෙන්ද අදහස් විමසුවා ආචාර්ය වීරසිංහ මහතා පමණක් රුපියල් බිලියන පහක ලංසුව නිර්දේශ කළා.

ප්‍රශ්නය. අනෙක් නියෝජ්‍ය අධිපතිවරයාද ඒ රුපියල් බිලියන පහක ලංසුව නිර්දේශ කළාද?

පිළිතුර. ඔහු කිසිවක් කිව්වේ නැහැ.

ප්‍රශ්නය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ නිර්දේශය වුණේ කුමක්ද?

පිළිතුර. රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දීම.

ප්‍රශ්නය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ නිර්දේශයෙන් අනතුරුව කිසිවෙක් හෝ ඒ ගැන කරුණු දැක්වුවාද?

පිළිතුර. ඔව්. ආචාර්ය ආර්ෂින් මහතා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ නිර්දේශයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළා.

ප්‍රශ්නය. ඔහු මොනවද කිව්වේ?

පිළිතුර. රුපියල් බිලියන 10 ක ලංසුවට අනුමැතිය දුන්නොත් ව්‍යාජ ලංසු විශාල ප‍්‍රමාණයක් එහි ඇතුළත් විය හැකි බව ඔහු කීවා. ඊලඟ බැඳුම්කර  වෙන්දේසියේදීත් මෙම බැඳුම්කර  වෙන්දේසියේදී ලබාදුන් ඉහළ අනුපාතය ලබාදීමට සිදුවන බව ආචාර්ය ආර්ෂින් මහතා පැහැදිලි කළා.

ප්‍රශ්නය. මේ අවස්ථාවේ දී ඔබ සමඟ හිටියේ කවුද?

පිළිතුර. මා සමඟ ණය අධිකාරී ආචාර්ය වීරසිංහ මහතා සහ ඉදිරි කාර්යාලයේ ප‍්‍රධානියා හිටියා.

ප්‍රශ්නය. ලංසු සමාලෝචනයෙන් පසු ඔබලා යම් ලංසුවක් නිර්දේශ කළාද?

පිළිතුර. ඔව්. රුපියල් බිලියන 2.6 ලංසුව අපි නිර්දේශ කළා. එහි සාමාන්‍ය ඵළදායිතා අනුපාතය වුණේ 10.7යි.

ප්‍රශ්නය. එම ඵළදායිතා අනුපාතය අනිත් අයත් නිර්දේශය කළාද?

පිළිතුර. අපි සෑම දෙනාම නිර්දේශ කළා.

ප්‍රශ්නය. බැඳුම්කර  වෙන්දේසිය අවසන්වු පසු සිදු කරන්නේ කුමක්ද?

පිළිතුර. ලංසු ලැයිස්තු ඉදිරි කාර්යාලයට ලැබෙනවා.

ප්‍රශ්නය. ලංසු සමාලෝචනයේදී සලකා බලන කරුණු වන්නේ මොනවාද?

පිළිතුර. ලංසු සමාලෝචනයේදී ණය දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ද්‍රවශිලතාවය, රාජ්‍ය ණය අවශ්‍යතාවය, පොලී අනුපාතය ආදී කරුණු ගැන සළකා බලනවා.

ප්‍රශ්නය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කොපමණ වේලාවක් රැදී සිටියාද?

පිළිතුර. විනාඩි 15ක් පමණ

ප්‍රශ්නය. ඊට පසු සිදුවුණේ කුමක්ද?

පිළිතුර. ඔහු රාජ්‍ය ණය දෙපාර්තමෙනතුවෙන් පිටව ගිය පසු අපිත් අපේ කාර්යාල වලට ගියා.

වින්සුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙවැනි බැඳුම්කර  නිකුත් කිරීමේ අවස්ථාවලදී මහබැංකුවේ හිටපු අධිපතිවරුන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ට පැමිණ තියෙනවාද?

පිළිතුර. නැහැ. කිසිමදාක මහබැංකුවේ හිටපු අධිපතිවරයෙකු බැඳුම්කර  නිකුතුවක් සිදුවන අවස්ථාවකදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණ අපි සමඟ සාකච්ඡා කොට නැහැ.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක ණය අධිකාරී යු.එල්. මුතුගල මහත්මිය මෙසේද කීවාය.

ප්‍රශ්නය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  රාජ්‍ය ණය දෙපාර්තමෙනතුවට ආවේ කා සමඟද?

පිළිතුර. නියෝජ්‍ය අධිපතිවරුන් වන ආනන්ද සිල්වා සහ ආචාර්ය වීරසිංහ මහතා සමඟ.

ප්‍රශ්නය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  රාජ්‍ය ණය දෙපාර්තමෙනතුවට පැමිණ මොනවද කිව්වේ?

පිළිතුර. භාන්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව  තවත් මුදල් ප‍්‍රවාහ සටහන් එවා ඇති බවත් ඒ අනුව තවත් රුපියල් බිලියන 13.5ක ණය අවශ්‍යතාවයක් ඇති බවත් සඳහන් කළා.

ප්‍රශ්නය. මෙම බැඳුම්කර  සිද්ධියෙන් පසු මුල්‍ය වෙළෙඳ පොළේ යම් සිදු වීමක් වුණාද?

පිළිතුර. ඔව්. මුල්‍ය වෙළෙඳ පොළ කැළඹීමට ලක් වුණා.

ප්‍රශ්නය. ඉන් පසු ඔබ ආයතනයේ රැස්වීමක් පැවැත් වුණාද?

පිළිතුර. ඔව්. මේ සිදුවීමෙන් සති දෙකතුනකට පමණ පසු මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ හා ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමක් සංවිධානය කළා.

ප්‍රශ්නය. එවැනි රැස්වීමක් සංවිධානය කිරීම සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් නේද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය. එම රැස්වීමේදී මොනවා ගැනද සාකච්ඡා කළේ?

පිළිතුර. මෙම බැඳුම්කර  සිද්ධිය ගැන එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ නැහැ.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. එහිදී යම් විරෝධතාවයක් ඉදිරිපත් වුණාද?

පිළිතුර. නැහැ.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී යු.එල්. මුතුගල මහත්මිය මෙසේද කීවාය.

ප්‍රශ්නය. භාන්ඩාගාර වෙන්දේසි පවත්වන්නේ ඇයි?

පිළිතුර. රජයට මුදල් අවශ්‍ය වු විට.

ප්‍රශ්නය. මේ කොමිසමට අදාළ කාලයේදී මුදල් අවශ්‍යතාවයක් පැන නැඟුණද?

පිළිතුර. ඔව්. රුපියල් මිලියන 105ක පමණ මුදල් අවශ්‍යතාවයක් රජයට පැණ නැඟුණා.

ප්‍රශ්නය. එම රුපියල් මිලියන 105ක පමණ මුදල් අවශ්‍යතාවය පියවා ගැනීමට මොකද කළේ?

පිළිතුර. භාන්ඩාගාර වෙන්දේසි හතරක් පැවැත්තුවා.

ප්‍රශ්නය. එම වෙන්දේසි හතරෙන් පළමු වෙන්දේසියේදී කොපමණ ලංසු ප‍්‍රමාණයක් ඉදිරිපත් වුණාද?

පිළිතුර. ලංසු ප‍්‍රමාණයක් ඉදිරිපත් වුණා.

ප්‍රශ්නය. එම ලංසු ටෙන්ඩර් මණ්ඩලය පිළිගත්තාද?

පිළිතුර. නැහැ. ටෙන්ඩර් මණ්ඩලය කිසිම ලංසුවක් බාරගත්තේ නැහැ.

ප්‍රශ්නය. එය නරක තීරණයක් නේද?

පිළිතුර. මා දන්නා තරමින් එය නරක තීරණයක් නෙමේ.

ප්‍රශ්නය. සාමාන්‍යයෙන් භාන්ඩාගාර බැඳුම්කර  ආයෝජනය කරන ප‍්‍රධාන ආයතන මොනවාද?

පිළිතුර. ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ අර්ථ සාදක අරමුදල.

ප්‍රශ්නය. එම ආයතන භාන්ඩාගාර බැඳුම්කර වල කොපමණ ප‍්‍රතිශතයක් ආයෝජනය කරනවාද?

පිළිතුර. සමස්ථ භාන්ඩාගාර බැඳුම්කර  ආයෝජනයෙන් සීයයට 70ක පමණ ප‍්‍රතිශතයක්.

ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ණය අධිකාරී යු.එල්. මුතුගල  මහත්මියගේ  සාක්කි  විමසීම  එතැකින්  අවසන් විය.

වැඩිදුර සාක්කි විමසීම අද (13) දක්වා කල් තබන ලදී.