‘බස්නාහිර පළාත් සභාවේ පුටු ගැන හොයන්න පත් කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය ඉදිරියට ගේනවා‘


 
(මුදිතා දයානන්ද)
 
බස්නාහිර පළාත් සභාවට ස්පාඤ්ඤයෙන් ඇණවුම් කළ බව කියන හය ලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ගැන ඉදිරියේදි සියලූ මාධ්‍ය දැනුවත් කරනවා යැයි හේමකුමාර නානායක්කාර මහතා අද  (29) ලංකාදීපයට පැවසීය.
 
ආණ්ඩුකාර නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභාවේ නව පළාත් සභා ලොඩනැගිල්ලට ඇණවුම් කර තිබූ හයලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් සෙවීමට ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ වාර්තාව පිළිබඳව ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. 
 
බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සභාගර්භය සඳහා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් රුපියල් හයලක්ෂ පනස් දහස බැගින් වන පුටු 104ක් විදේශ රටකින් ගෙන්විමට ඇණවුම් කර ඇති බවත් මෙය අනවශ්‍ය වියදමක් බැවින් වහාම එය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පසුගිය 09 වැනිදා ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.
 
ඒ අනුව එම පුටු ගෙන්වීම වහාම නවත්වන ලෙසට නියෝග කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කළේය. එම කමිටුවේ වාර්තාව ඊයේ (28) සවස ආණ්ඩුකාරවරයා වෙත ලැබී තිබේ. 
 
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමේදි තවදුරටත් අදහස් දැක්වු නානායක්කාර මහතා මෙසේ පැවසීය.
 
බස්නාහිර පළාත් සභාවේ හයලක්ෂ පනස් දාහ බැගින් වන පුටු 104ක් ගෙන්විම සම්බන්ධයෙන් මා පත් කළ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී තිබෙනවා. එය මා තවම අධ්‍යයනය කර නැහැ. එය අධ්‍යයනය කිරිමෙන් පසුව ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදි සියලූ මාධ්‍ය කැඳවා දැනුවත් කිරිමට මා බලාපොරොත්තු වෙනවා. එතෙක් මට ඒ ගැන වැඩි විස්තරයක් කියන්න බැහැ.