(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගෑස්වල බර අඩු කිරිම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8 ) පැවැසීය.
මේ සදහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
වෙළෙඳ ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.
කිසිවෙකු මේ ගැන කලබල නොවිය යුතු බවත් කවුරුන් හෝ පනතට විරුද්ධව කටයුතු කර ඇත්නම් නඩු පැවරීමේ වගකීම තමා බාර ගන්නා බවත් ගුණවර්ධන මහතා පැවැසුවේය.
"ඔබතුමාලා එදා කළා වගේ අපි නඩු පටලවන්නේ නෑ.අපි නඩු දාන්නෙ නීතියට අනුවයි" යැයිද වෙළෙඳ ඇමැතිවරයා කීය.
ගෑස් වෙනස් ආකාරයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා ඇතැම් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය නොමැතිව ගෑස් සිලින්ඩරයේ බර අඩු කර ඇතැයි චෝදනා කළේය.
.

