‘බංගලාවේ ඉන්නේ කතානායක-හිටපු අගමැති ඇතුළු රජයේ එකඟත්වයෙන්’


(එෆ්.අස්ලම්)

විපක්ෂනායක බංගලාවේ නොකඩවා රැදී සිටින්නේ කථානායකවරයා සහ හිටපු අගමැතිවරයා ප්‍රමුඛ පැවති රජය ගත් පොදු එකඟත්වයට අනුව මිසක තමාගේ ඉල්ලීම හෝ බලකිරීම මත නොවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අවධාරණය කරයි.

2015 වසරේ දී විපක්ෂනායක ධූරයට පත්ව වසර දෙකක් යනතුරුම තමන් ජීවත් වූයේ වසර 20කට වැඩි කාලයක් ජීවත් වූ කොලඹ සමිත් ෆ්ලැට් සංකීර්ණයේ පියගැට 60-70ක් පසුකර යාමට ඒමට සිදුවන නිවසක බවත් සම්බන්ධන් මහතා සදහන් කර ඇත.

ආර්.සම්බන්ධන් මහතා තමාට ලබාදී ඇති නිල නිවස සම්බන්ධයෙන් කථානායක   කරු ජයසූරිය මහතා දැනුවත් කරමින් මේ බව සදහන් කර ඇත.

එම ලිපියේ මෙසේ ද සදහන් වේ.

2015 වසරේ සැප්තැම්බර් මාසයේදී මා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා වශයෙන් ඔබතුමන් විසින් පිළිගන්නා ලදි. වසර 20කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මා කොලඹ සමිත් ෆ්ලැට් 2-ඩී කොටසේ පදිංචිව සිටි අතර එම තට්ටු නිවාසයට ඇතුළුවන හා පිටවන වරක් පාසා මා හට පියගැට 60- 70ක් නැගීමට හා බැසීමට සිදුවෙයි. වසර 80ක මාගේ වයස සළකා බැලීමේදී මෙය මා හට ඉතා අපහසු හා දුෂ්කර කාර්යක් වුවද එම දුෂ්කරතාවය දරා සිටියෙමි.

මා විපක්ෂනායක ධූරයට පත්වී වසර දෙකකට පසු 2017 සැප්තැම්බර් මාසයේදී වත්මන් බංගලාව මා හට ලබාදුන්නා.පැවති රජය මා හට බංගලවක් සොයමින් සිටි සමයේ කුලී පදනම මත බංගලාවක් සොයාගන්නා ලෙසට හිටපු ජනාධිපතිවරයා යෝජනා කළ නමුත් අධික පිරිවැයක් ඊට දැරීමට සිදුවන හෙයින් එසේ කිරීමේ අවශ්‍යතාවක් තිබුනේ නැහැ.විපක්ෂනායක වශයෙන් මා වෙත ලබාදී තිබූ සෙසු පහසුකම් ද බංගලාව හා කාර්ය මණ්ඩලය වෙත අනියුක්ත කළ ඒවාය.

විපක්ෂනායක බංගලාවේ නොකඩවා රැදී සිටීමට මා හට අවසර ලබාදෙන ලෙස ගරු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හෝ ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් විසින් ගන්නා ලද කවර ක්‍රියාමාර්ගයක් හෝ ගනු ලැබුවේ ඔවුන්ගේ එකඟත්වයට අනුවයි. නොකඩවා ලබාදෙන සෙසු පහසුකම් ද ලබාදෙන ලද්දේ ද එම තීරණ ප්‍රකාරවයි.

2018 ඔක්තෝබර් මාසයේ සිදුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එවක විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතර තනතුරු හුවමාරු වුණා. එම කාලයේදීම විපක්ෂනායක ධූරයෙන් මා ඉවත් කිරීමද සිදුවුණා.

මේ දක්වා ඉදිරිපත් නොකරන ලද සෙසු එකම පහසුකම වූයේ  CAT-1094 අංක දරණ බෙන්ස් මෝටර් රථයයි.මෙම වාහනය මා වෙත ලබාදෙන ලද්දේ 2017.01.31 දිනයේදීයි.2019.01.07 වන දින මා විසින් එම වාහනය නව විපක්ෂනායකවරයා වෙත පිටත් කර යවන ලදි.

වාහනය මා සන්තකයේ පැවති වසර දෙකක කාලය තුළදී එය ධාවනය වී තිබුනේ කිලෝමීටර 2082ක් පමණි.මෙමගින් මා කෙතරම් අරපිරිමැස්මෙන් එම රථය භාවිත කරන ලද්දේ ද යන්න පැහැදිලි වේ. සිදුවූ දේ ගැන කණගාටු වෙමි. මෙම අප්‍රසන්න තත්වය නොකඩවා නොපැවතිය යුතුය,යනුවෙන්ද එම ලිපියේ සඳහන්ව ඇත.