( හර්ෂණ තුෂාර සිල්වා)
ප්‍රජාතන්ත්‍රවාදය යනු විකල්පයක් නොව අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (27) කොළඹ දී ප්‍රකාශ කළේය.
“ප්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය හා සුරැකීම සඳහා වූ සාමූහික ප්‍රයන්තය” යන මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය එක්ව සංවිධානය කළ දෙදින සමුළුවේ පිළිගැනීමේ කතාව කරමින් මහින්ද දේශප්‍රිය මහතා ඒ බව සඳහන් කළේය.
මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. එමෙන්ම මෙවැනි සමුළුවක් දකුණු ආසියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය යැයි ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදි කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීය. “ආසියාවේ මැතිවරණ කොමිෂන් සභාවල නිලධාරීන්, බලධාරීන්, සිවිල් සමාජය මෙහි පැමිණ සිටිනවා.
නියමිත කාල පරිච්ඡේදවලදී පවත්වන නිදහස් හා සාධාරණ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම ඡන්ද දායකයකුටම තිබෙන අයිතියට ගෞරව කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පොදු අරමුණ මෙම සමුළුව පැවැත්වීම තුළින් නැවත නැවතත් තහවුරු කරනවා.
නිදහස් හා සාධාරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආසියාවේ සියලු පාර්ශව අතර දැනුම, අත්දැකීම් හා උගත් පාඩම් බෙදා හදා ගැනීමටත් සාමූහික පියවර ගැනීමටත් මේ සමුළුව උපකාරී වනු ඇතැයි මා හිතනවා. මැතිවරණ කොමිෂන් සභා, සිවිල් සමාජය ඇතුළු අනෙකුත් ආයතන හා පාර්ශවකරුවන් අතර සබඳතා ඇති කරගැනීමටත් මේ සමුළුව උපකාරී වේවි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකාව මැතිවරණ පැවැත්වීමේදී අනුගමනය කරන විනිවිදභාවය ලෝකයට ගෙන යෑමටත් මේ සමුළුව තෝතැන්නක් වේවි.
මැතිවරණ ක්‍රියාවලියේ නිරත වන මෙතැන සිටින සියලු නිලධාරීන්, පාර්ශවකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධන කිරීමට ඇප කැප වී සිටිනවා.
සමුළුව අවසානයේදී අපි ‘කොළඹ පොරොන්දුව’ ලියවිල්ල ප්‍රකාශයට පත් කරනවා. එම ඓතිහාසික ලියවිල්ල තුළින් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් හා සාධාරණ මැතිවරණ ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකභාවය බිඳ වැටීම වැළැක්වීමටත් ඒ සඳහා මැතිවරණ ක්‍රියාවලියේ සියලු පාර්ශවකරුවන් සහයෝගීතාව ඇති කරගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා”
සමුළුවේ අවසන් දිනය වන හෙට (28) ‘කොළඹ පොරොන්දුව’ලියවිල්ල අනුමත කිරීමට ද නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, නීතිපති ජයන්ත ජයසූරිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ. කොළඹ ගලධාරී හෝටලයේදී සමුළුව පැවැත්විණි.
ඡායාරූප -ඉෂාන් සංජීව



