(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා මිස පැරණි දූෂිත මනාප ක්‍රමයට පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිතන්නේවත් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹදී අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
දූෂිත මනාප ක්‍රමය මේ රටට නොගැළපෙන බවත් ඒ වෙනුවෙන් ගමට, ආසනයට වගකියන නියෝජිතයෙක් පත්කෙරෙන නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන බවත් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දුවක් ලබාදී තිබෙන බවත් කොළඹ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ පැවති එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කීය.
බලයට පත්වීමට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මනාප ක්‍රමය හකුලා දමනා බවට ලබාදී තිබෙන පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරන තෙක් ජනතාව බලා සිටින බව ද එවැන්නකින් ගැලවීමක් නායකයන්ට නැතැයි ද ඇමැතිවරයා කීය.