‘පරිසරය ආරක්ෂා කරගත හැක්කේ ජනතාවට ඒ ගැන අවබෝධ කර දීමෙන්’


(නාලක සංජීව දහනායක)
 
පරිසරය ආරක්‍ෂාකර කරගත හැක්කේ ඒ පිළිබදව ජනතාවට අවබෝධ කරදීමෙන් මිස නීති පැනවීම මගින් නොව්යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද(3)  පැවැසීය.

බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී අද (3) පැවැති ලෝක තෙත් බිම් දින සැමරුමට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

පාසලේ උගන්වන අනෙකුත් විෂයන් මෙන්ම පරිසරය විෂයේ ඇති වැදගත්කම පිළිබදව කුඩා කාලයේ පටන්ට දරුවන්ට ඉගැන්විය යුතු බවද ඔහු කීය.
 
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.
 
''නාගරීකරණය වීම නිසාවෙන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලත් අනෙකුත් ප‍්‍රදේශවලත් තෙත් බිම් හා පහත් බිම් විශාල ප‍්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. ගමටත් නගරයටත් එය පොදුයි. විශේෂයෙන්ම අපේගම පිහිටා තිබෙන මෙම කෝට්ටේ නගරය අලූතින් බිහි කරන විට මෙම ප‍්‍රදේශයේ තිබූ පහත් බිම් හා තෙත් බිම් ගොඩකළා.
 
ඒ නිසාවෙන් ශාඛ හා සත්ව විශේෂ ගණනාවක් විනාශ වුණා. එම තෙත්බිම් හා වගුරු බිම් නිසාවෙන් මෙම ප‍්‍රදේශය ජලයෙන් යටවුනේ නැහැ. නමුත් ඉහත සදහන් කළ ආකාරයට මෙම ප‍්‍රදේශය සංවර්ධනය කිරීම නිසාවෙන් මෙම ක්‍ෂණිකව ගංවතුරට යටවෙන්න පටන් ගත්තා. මම නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී ලෝක බැංකුවේ ආධාර ලබාගෙන මෙම ප‍්‍රදේශයේ වගුරු බිම් හා තෙත් බිම් ආරක්‍ෂා කර ගැනීමට ක‍්‍රියා කළා.
 
සංවර්ධන කටයුතු නිසාවෙන් පරිසර විනාශය විශාල වශයෙන් සිදු වෙනවා. සංවර්ධන කටයුතු සමගින්ම පරිසරයත් ආරක්‍ෂා කරගන්න අපි කටයුතු කළ යුතුයි. පරිසරය ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් තිබිය යුතුයි.
 
පරිසර විෂය කුඩා කාලයේ සිටම ඉගැන්වීමෙන් එම අවබෝධය ලබාදිය හැකියි. පාසලේ උගන්වන අනෙක් විෂයන් තරමටම පරිසර විෂයත් වැදගත්වන බව ජනතාවට අවබෝධ කර දිය යුතුයි. පරිසරය විනාශ කරන්න ජනතාව පෙළබෙන්නේ එම අවබෝධය නැති නිසයි. පරිසරයේ වැදගත්කම අවබෝධ කරදීමෙන් මිස මෙවැනි කාරණ නීති මගින් පාලනය කරන්න බැහැ.
 
වැලි ගොඩ දැමීම තහනම් කර තිබුණත් ඇතැම් ප‍්‍රදේශවල ආරක්‍ෂාව සදහා වැලි ගොඩ දැමීම කළ යුතුයි. වැලි ගොඩ දැමීම නිසාවෙන් කැලණි ගෙඟ් ඇතැම් ප‍්‍රදේශ ගංවතුරෙන් යට නොවු බවත්, වැලි ගොඩ දැමීම නතර කිරීම නිසාවෙන් එම ප‍්‍රදේශ ගංවතුරෙන් යටවන බවත් කැලණිය ප‍්‍රදේශයේ පාරම්පරිකවම වැලි ගොඩදමන පිරිසක් මට පැවැසුවා.
 
ස්වභාව ධර්මයට අනුගතව සිදුකරන දේවල්වලින් අපිට විනාශයක් අත්වන්නේ නැහැ. නමුත් සීමාව ඉක්මවා යම් යම් දේවල් ඒවා නතර කරන්න නීති පනවන්න අපිට සිදුවෙනවා. එවිට පාරම්පරික කර්මාන්ත නැති වෙනවා'' යැයිද පැවැසීය.

 

 ( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)