(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂයේ කොටස් දෙකකට බෙදී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් පාක්ෂිකයින් කොටස් හතරකට බෙදෙනු ඇතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉන් කොටසක් එජාපයටත්, කොටසක් සමඟි ජන බලවේගයටත් ඡන්දය දෙන අතර තවත් පිරිසක් ඡන්දය නොදීමටත්, කළකිරුණු අය පොදුජන පෙරමුණට කතිරය ගැසීමටත් හැකි බව ද විජයවර්ධන මහතා සඳහන් කළේය.
ජනතාව ඉදිරියේ පච වී ඇති ආණ්ඩුව පරාජය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එක්ව මහ මැතිවරණයට තරඟ කළ යුතු බව ද හිටපු මන්ත්‍රීවරයා කීවේය.
මේ වන විට පක්ෂය කොටස් දෙකකට බෙදීමෙන් අර්බුදයක් මතුව තිබෙන බව කී රුවන් විජයවර්ධන මහතා එහි වාසිය ලැබෙන්නේ රටට, ජනතාවට හෝ එම දෙපාර්ශවයටම නොව රාජපක්ෂවරුන්ට බව ද සඳහන් කළේය.
එබැවින් නාමයෝජනා දිනට පෙර හෝ යම් එකඟතාවක් ඇතිකරගැනීමේ අරමුණින් සාකච්ඡා පවත්වාගෙන යන බව කී හිටපු මන්ත්‍රීවරයා එකමුතුව ඇතිවන තැනක් වේ නම් ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට දෙපාර්ශවයම සූදානම් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කීවේය.
වෙන්ව තරඟ කළ ද මැතිවරණයෙන් පසු හෝ එක්ව ඉදිරියට යාමට දෙපාර්ශවයට හැකි බව ද කී මන්ත්‍රීවරයා නමුත් වඩා වැදගත් වන්නේ මැතිවරණයට පෙර එකමුතුවී ජනතාව වෙනුවෙන් හඬක් නගා ආණ්ඩුවට අභියෝගයක් වීම බව ද ප්‍රකාශ කළේය. රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට ජනතා විරෝධී ගමනක් යමින් සිටින ආණ්ඩුව පරාජය කිරීමට නම් එදා මෙන්ම අදද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම එක්ව කටයුතු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

( ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)

