‘නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කරන්න‘


( දසුන් රාජපක්ෂ)
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සන්තකයේ තිබී සොයාගත් දුරකතන සංවාද හඩපට නිසා බිදවැටී තිබෙන නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කිරීමට රජය ක්‍රියාකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළේය.
 ජාතික නිදහස් පෙරමුණ අද (7) පිරකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ මුසම්මිල් මහතා එම හඩපටවලින් අනාවරණය වූ සිද්ධීන්ට අදාළව අසාධාරණයට ලක් වූ වින්දිතයන්ට රජය මැදිහත් වී සහන සැළසිය යුතු බවද කියා සිටියේය.
 රන්ජන් රාමනායක මහතා සමග දේශපාලන දඩයම් කිරීමට එක්වූ බවට දුරකතන සංවාදවලින් අනාවරණය වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අය නීතිය හමුවට රැගෙනවිත් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවද මුසම්මිල් මහතා සදහන් කළේය.

 පසුගිය යහපාලන ආණ්ඩුව නීතියේ ආධිපත්‍යය බිදහෙලමින් විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රනය යොදාගත් ආකාරයට අදාළ තිත්ත ඇත්ත රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හරහා ජනතාවට ඔප්පු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 (ඡායාරූපය - දසුන් රාජපක්ෂ )