‘දීගොඩ කුමාර’ රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
විශ්ව ශක්ති බලයෙන් රෝග සුවකිරීමේ වැඩසටහනකදී ලබා දුන් ආහාරයකින්  සිසුවකු  අසාධ්‍ය තත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ  සිටි දීගොඩ කුමාර නමැත්තා මේ මස 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර  කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (23) නියෝග කළේය.
 
දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ලබා දී තිබු නියෝගයකට අනුව  අද ඔහු නීතීඥයකු මාර්ගයෙන් ගොස් අධිකරණයට බාර වී තිබිණි.
 
වර්ෂ 2018 වසරේදී  පිළියන්දී   ඔහු මෙහෙයවූ එම වැඩසටහනකට සහභාගී වු  සිසුවකුට බලහත්කාරයෙන් පාන් අනුභව කිරීමට සලස්වා තිබු අතර ,   සිසුවාට  පාන් පිටි ආහාරයට ගැනීම හානිදායක බව සඳහන් කරද්දී ඔහු බල කිරීම හේතුවෙන් , එම පාන් ආහාරයට ගත්   සිසුවා අසාධ්‍ය තත්වයට පත්ව කලුබෝවිල ශික්ෂණ රෝහලට  ඇතුළත් කර තිබිණි.
 
එම සිද්ධිය සම්බන්ධයෙන්  අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු  මොහු අත්අඩංගුට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

ඒ අනුව අද ඔහු මෙලෙස අධිකරණයට බාර වීමෙන් පසු  රක්ෂිත බන්ධණාගාරගත කිරීමට නියෝග කෙරිණි.