‘තමිල්නාඩුවෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක්‘


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක් ලබාදෙන  බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවේ පවසා තිබේ.

එක් අත්‍යවශ්‍ය භාණ්ඩ නෞකාවක් මේ වන විටත් ලංකාවට එවා තිබෙන බව එහිදී සඳහන් කළ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා තවත් නැව්ගත කිරීම් කිහිපයක් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත. 

ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා අතර හමුවක් චෙන්නායි හි මහ ඇමති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙි.

මෙහිදී අදහස් දක්වමින් ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සඳහන් කළේ ලංකාවේ ආර්ථික ගැටලු කළමනාකරණය කර කරගැනීම සදහා  රුපියල් බිලියන දෙකක මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ලාංකික ජනතාවගේ කෘතඥතාවය පුද කරන බවයි.

මෙම හමුවේදි මිලින්ද මොරගොඩ මහතා සිය පාර්ලිමේන්තු කතා ඇතුලත් "උණුසුම් හදවතක් සන්සුන් මනසක් සහ ගැඹුරු හුස්මක්"යන  ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනයේ පිටපතක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතාට පිළිගැන්වීය.