‘ඩයමන්ඩ් ප‍්‍රින්සස් ’ නෞකාවේ ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවට


(තිළිණි ද සිල්වා)
 

කොරෝනා වයිරස් ආසාදිතයින් කිහිපදෙනෙකු සහිතව ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා තිබූ ‘ඩයමන්ඩ් ප‍්‍රින්සස් ’ නැමැති සංචාරක නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට රැගෙනවිත් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
එම නෞකාවේ සිටි තවත් ඉන්දීය ජාතිකයින් 119 යුතු පිරිසක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඊයේ (26) රාත‍්‍රියේදී එම නෞකාවෙන් ඉන් ඉවත් කර ඉන්දියානු රජය යෙදවූ විශේෂ ගුවන් යානයකින් නවදිල්ලි නුවර වෙත ගෙන ගිය බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
ජපානයේ සිට ඉන්දියාවට රැගෙන ආ මෙම ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන අතර ඔවුන් ඉන්දීයාවේදී දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියකට යොමු කෙරෙන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ලාංකික නැවියන් දෙදෙනා ඉන්දියාවේ හර්යානා යුද හමුදා කඳවුරේදී එම නිරෝධායන කාල සීමාව ගත කීරීමට නියමිත අතර එම නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා ආපසු කොළඹට පැමිණීමට නියමිතය.
 
නව කොරෝනා වයිරස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ පසුගිය 04වනදා සිට යොකොහමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන් ප‍්‍රින්සස් නෞකාවේ සිටි මගීන් ඉන් ඉවත් කර ගැනිමට රටවල් කිහිපයක්ම පියවර ගෙන තිබූ අතර ඉන්දියාව ද ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොමු කර තිබුණි.
 
ඒ අනුව නෞකාවේ කාර්යය මණ්ඩලයට අයත්  ලාංකිකයින් දෙදෙනා ද එම ගුවන් යානයෙන් රැගෙනයාම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයේ බලධාරින්ගෙන් ඉල්ලීමක් කළ බවද ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පැවසීය.

එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දීය බලධාරින් එම විශේෂ ගුවන් යානයෙන් නෞකාවේ රැඳී සිටි ඉන්දිය ජාතිකයින් පිරිස සමඟ ලාංකිකයින් දෙදෙනා අද (26) එරට නවදිල්ලි නුවර වෙත රැගෙන ගිය බව චන්දන වීරසේන මහතා වැඩිදුරටත් කීය.