
(එෆ්.අස්ලම්)
දෙමළ ජාතික සන්ධානය තුළ පැන නැගුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිළිබඳ ගැටලුවට තමාට වගකිව නොහැකි බවත් එහි වගකීම ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිරාජසිංහම් විසින් ගත යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද(13) ලංකාදීපයට පැවසීය.
ඉලංකයි තමිල් අරසු පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට ලබා දිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් ටෙලෝ පක්ෂ සහ බහුතරයක් දෙනෙකු යෝජනා කර තිබියෙදී එම ධූරය සදහා අම්පාර දිස්ත්‍රීක්කයේ නාවින්දන්වේලි ප්‍රාදේශීය සභාවේ සභාපති තවරාසා කලෙයිඅරසන් මහතා පත්කර තිබුණි.
ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මෙම ක්‍රියාකලාපයට දෙමළ ජාතික සන්ධානය තුළ දැඩි අප්‍රසාදයක් පලවී තිබුණු අතර මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා මෙසේ සදහන් කළේය.
ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දී ඇත්තේ කාටද කියා පක්ෂයේ මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දී තිබෙනවා.එනිසා ඒ සම්බන්ධයෙන් මා කිසිවක් කතා කරන්න යන්නෙ නෑ.මේ ගැන අහන්න ඕන තුරෙයිරාජසිංහම් මහතාගෙන්.ඔහුයි මීට වගකිව යුත්තා යැයි සදහන් කර සිටියේය

