‘ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් මතවාද වැදගත්‘


(ජේ ඒ එල් ජයසිංහ)

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රාටව හා අදහස් ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් ඒ හිමියන්ගේ මතවාද බැහැර නොකරන බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව කියයි.
 
ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරණ උත්සාහයට  අප්‍රසාදය පළ කරන බවත්, මෙනිසා ඉදිරියේ දී රට තුළ යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය  වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවත් අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.
 
එම සංඝ සභාවේ සම්මතයෙන් සකස් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානාහිමියෝ මේ බව සඳහන් කළහ.
 
ජාතික සංහිඳියාවට මුවාවී සිදු කරනු ලබන රක්ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කරන මහා නා හිමියෝ මේ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව ද කියති.
 
සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මඟින් විවිධ වාර්තාවන් පල කරන අතර ඒවායෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂී වගකීමක් බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.