විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන්, විමර්ශන නිලධාරීන් හා විදේශීය නීතිඥයන් පවා ගෙන්වීමට එකග වීමෙන් අදහස් කරන්නේ, දැනට මේ රටේ පවතින යුක්තිය පසිදලන ආයතන සියල්ලටම පරිභාහිරව තවත් යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියක් ඇති කිරීම බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ‘ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර‘ සම්බන්ධයෙන් අද (25) කොළඹ අභයාරාම විහාරස්ථානයේදී විශේෂ දේශනයක් කරමින් පැවසීය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘ ජිනීවා යෝජනාවේ සිව්වන ක්‍රියාන්විත ඡේදයට අනුව “යටගියාව ගැන” සෙවීමට ආණ්ඩුව විසින් මේ ආකාරයට පිහිටුවීමට බලාපොරොත්තු වන යාන්ත්‍රනයන් වලට පිටරටින් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ඉඩදීමට ලංකාවේ ආණ්ඩුව දැනටමත් එකග වී තිබෙනවා.මේ අනුව ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ ඇතුළු කාරණා සොයා බැලීමට පිහිටුවන යාන්ත්‍රන බටහිර රටවල මුදල් වලින් නඩත්තුවන තත්වයක් ඇති වෙනවා.
මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන රටවල් විසින්ම ලංකාවේ යුද අධිකරණයක් නඩත්තු කරන්නේ නම් මෙතනදී යුක්තියක් ඉටුවේ යැයි සිතිය හැකිද?
ආණ්ඩුව මෙවැනි යෝජනාවකට එකග වීම සාධාරණීකරනය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටී. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා ඝාතනය වීමෙන් පසු එම ඝාතනය ගැන සොයා බැලීමට පත්කරන ලද කොමිසමට ඊජිප්තු ජාතික විනිශ්චයකාරවරයකු සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් පත්කිරීම ලංකාවේ අධිකරණ පද්ධතිය තුල විදේශීය විනිශ්චයකරුවන් යෙදවීමට පූර්වාදර්ශයක් හැටියට ගෙනහැර දක්වා තිබෙනවා.
බණ්ඩාරනායක මැතිනිය විසින් එම ඊජිප්තු ජාතික විනිසුරුතුමා පත්කරනු ලැබුවේ විමර්ශන කොමිසම් පනත යටතේ පත්කරන ලද විමර්ශන කොමිසමකට මිස අධිකරණයකට නොවේ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය පිළිබඳ නඩුව අසනු ලැබුවේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුළය. එමෙන්ම අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමට මාගේ ආණ්ඩුව විසින් පත් කරනු ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසමට විදේශීය නීති විශාරදයින්ගේ ලිඛිත අදහස් දැක්වීම් ලබා ගැනීමට ඉඩදීමද “විදේශිකයන් ලංකාවේ නීතිමය ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමට” පූර්වාදර්ශයක් හැටියට හුවා දැක්වෙනවා.
මගේ ආණ්ඩුව විසින් මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරාට පස්සෙ, පරණගම මහතාගේ ලිඛිත ඉල්ලීම පරිදි ඒ කොමිසමට ජාත්‍යන්තර යුධ නීතිය පිළිබද විශේෂඥයන් කිහිපදෙනෙකුගෙන් ලිඛිත නීතිමය මත විමසීම් ලබා ගැනීමට මාගේ ආණ්ඩුව සැලැස්සෙව්වා. ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, මහාචාර්ය මයිකල් නිවුටන්හා රොඩ්නි ඩික්සන් වැනි නීත විශාරදයින් සහ මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් වැනි යුද විශේෂඥයින් ඉතාම වටිනා විග්‍රහයන් ඒ කොමිසමට ලබා දුන්නා.මා මේ කතා කරන්නේ මැක්ස්වෙල් පරණගම වාර්ථාව ගැන නොව, එම කොමිසමට විදේශීය විද්වතුන් ලබලා දීල තියෙන ලිඛිත අදහස් දැක්වීම් ගැන බව මතක තබා ගත යුතුයි. මේ සියලුම ජාත්‍යන්තර යුද නීති විශේෂඥයන්ගේ මතයන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ලබා දීමට යහපාලන ආණ්ඩුවට යුතුකමක් තිබුණා. ඒක කරන්න ඕනෑතරම් වේලාවත් තිබුණා. නමුත් ආණ්ඩුව එසේ කිරීම සිතාමතාම පැහැර හැරියා.‘
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අටවන ක්‍රියාන්විත ඡේදයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ මානව අයිතීන් උල්ලංඝනය කළා යැයි උසාවියක නඩු පැවරීමට ප්‍රමාණවත් තරම් සාක්‍ෂි නැති රණවිරුවන් පවා “පරිපාලනමය ක්‍රියාදාමයකින්” සේවයෙන් නෙරපා හැරීමයි. මෙවැනි ඡේදයක් ජිනීවා යෝජනාවේ නැති බව ඇතැම් ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියනවා මට ඇහුණා. ජිනීවා යෝජනාවේ සිවුවන ක්‍රියාන්විත නිර්දේශය ලෙස මේ කාරණය තිබෙන බව මම වගකීමෙන් කියමි.
ඉකුත් සැප්තැම්බර් 30 වන දා මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය ආමන්ත්‍රනය කළ අවස්ථාවේදීද ඔහු වැඩියෙන්ම අවධාරණය කළ කාරණය වූයේ මේ අකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන අය ආරක්‍ෂක අංශවලින් නෙරපිය යුතු බවයි. මේ අතිශයින්ම අසාධාරණ යෝජනාවටද ආණ්ඩුව වග විභාගයකින් තොරව එකඟත්වය පළකොට තියෙනවා. උසාවියක නඩු පැවරීමට තරම් සාක්‍ෂි නැති අයෙක් අපේ නීතියේ හැටියට වරදකරුවකු නොවන අතර එවැනි පුද්ගලයන් හුදුසැකයක් මත ආරක්‍ෂක හමුදා වලින් නෙරපා හරින්නේ මොන යුක්ති ධර්මයකට අනුවද ? මේක රණවිරුවන් දඩයම් කිරීමට පිඹුරුපත් සකස් කිරීමක් මිස වෙන කුමක්ද?
මෙතන තවත් සදාචාරත්මක ප්‍රශ්නයකුත් තිබෙන බව කියන්න ඕන. මේ යුද්ධය සිද්ධ වුනේ ලංකාවේ. රණවිරුවන්ට දඩුවම් දීමට නම්, යුද්ධය සිදුවෙන අවස්ථාවේ අපේ රටේ නීතියට අනුව අපරාධයක් නොවු බොහෝ දේවල් අපරාධ හැටියට නීතියට ඇතුල්කරලා එම නීති ආපස්සට ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. අපේ රටේ ව්‍යවස්තාවට අනුව ඕන නම් ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීති මෙරටේ ක්‍රියාත්මක කිරීමට එසේ කල හැකි බව ව්‍යවස්තාවේ සදහන් වෙනවා. නමුත් අපරාධ නීතියේ තිබෙන ඉතාමත්ම පූජනීය මූලධර්මයක් වන්නේ, යමක් සිදුවෙන අවස්ථාවේ දී නීතියෙන් අපරාධයක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් පසුව නව නීති හදා ආපස්සට බලපැවැත්වෙන පරිදි දඩුවම් නොදිය යුතුය යන්නයි. ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න ව්‍යවස්තාවෙන් බලය තිබුණත්, නොකරම බැරි අවස්ථාවක් හැරුණ විට එවැන්නක් සමාන්‍යයෙන් කරන්නේ නැහැ.
අවසන් වරට එවැන්නක් සිදුවුනේ සේපාල ඒකනායක ඉතාලි ගුවන් යානයක් පැහැරගත්ත අවස්ථාවේ. ලංකාවේ නීතියට අනුව ඒකාලේ ගුවන් යානයක් පැහැර ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ නොතිබුණු නිසා, ඔහුට දඩුවම් කිරිමට අලුත් නීති ගෙනල්ලා ඒවා අපස්සට ක්‍රියාත්මක කරන්න ඒ කාලේ ආණුඩුවට සිද්ධවුණා. නමුත් අපේ රණවිරුවන් සම්බන්ධයෙන් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ මිනීමැරුමක් සිදුවී තිබෙනවානම් ඒකට අපිට නීති තිබෙනවා. වධ බන්ධන පමුනුවා තිබෙනවානම් එයටත් නීති තියෙනවා. රණව්රුවෙක් කාට හෝ තර්ජනය කර තිබෙනවානම් එයටත් නීති තියෙනවා. අපහාස කරලා තියෙනවානම් ඒකටත් නීති තියෙනවා. ඉතින් රණවිරුවෙක් වැරද්දක් කරලා තියෙනවානම් ඒ නීති අනුව අපේ උසාවි වලට කටයුතු කරන්න පුළුවන්.‘
රණවිරුවන් දඩයම් කිරීමට මේ සකසා ඇති පිඹුරුපත් ලංකාවේ නීතිය වෙනස් නොකොට ක්‍රියාවට නැංවිමට බෑ. මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ජීවිත පරදුවට තබා ත්‍රස්තවාදීන් සමග සටන තුල ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් රණවිරුවන්ට එරෙහිව මේ කරන සියලු සැලසුම් ව්‍යාර්ථ කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොතබන මෙන් මම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පක්‍ෂ භේදයකින් තොරව ඉල්ලා සිටිනවා. මෙය කුමක් හෝ එක් දේශපාලන පක්‍ෂයකට සීමා වූ කාරණයක් නොව රටත් ජාතියත් අපේ ස්වාධිපත්‍යයත්, ආත්මගරුත්වයත් පිළිබද ප්‍රශ්නයක්.
අපේ රණවිරුවන් හිරේ දමලා, හිරේ දමන්න බැරි අය “පරිපාලනමය ක්‍රියාදාමයකින්” ආරක්‍ෂක හමුදා වලින් දොට්ට දමලා, ජාතියේ කොදු නාරටිය බිඳලා මේ බලවතුන් සැරසෙන්නේ කුමටද කියලා රටේ මහජනතාවත් අවදියෙන් සිටිය යුතුයි. අපි මේ සිටින්නේ 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට වඩාත්ම අවදානම් සහගත මොහොතේය යන්න මගේ මතයයි. මේ මොහොතේ මව්බිම වෙනුවෙන් පෙරට ඒම අපි කාගේත් යුතුකමක් වෙනවා.‘



