‘චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස වැඩ නතර කිරීමට නොවේ’


(නාලක සංජීව දහනායක)

රාජ්‍ය නිළධාරීන් චක‍්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදුකරමින් සිටින වැඩ නතර කිරීමට නොවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (29) පැවසීය.

ඉකුත් රජය රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්කිරීමට ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය සේවය යම්තාක් දුරකට අකර්මන්‍ය වී ඇති බව පැවැසූ අග‍්‍රාමාත්‍යවරයා ඔවුන් පත්ව සිටින ගැටලූවලට ඉක්මන් විසඳුම් ලබාදී රාජ්‍ය සේවය මහජනතාවට සේවය සලසන මට්ටමට රැගෙන එන බවද කීය.

මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ අද (28) පැවැති ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා සදහන් කර සිටියේ පසුගිය රජයේ වියදම් ප‍්‍රමාණය ඉහළ යාමත් වියදම් කළමනාකරණය නොකිරීමත් හේතුවෙන් අයවැය පරතරය ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම පසුගිය රජය අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන්කර තිබීමෙන් රජය සේම රජයේ විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය දැක්වූ පෞද්ගලික ආයතන ද මේ වනවිට අපහසුතාවට පත්ව සිටින බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම රජය මගින් වී මිලදී ගැනීමේ වැඩසටහන මේ වනවිට සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවද එහිදී අග‍්‍රාමාත්‍යවරයා කීය.

මේ වනවිට ලබාගත් ණය ගෙවාගත නොහැකි වී සිටින ව්‍යාපාරිකයන් සදහා මුදල් අමාත්‍යංශය විසින් හඳුන්වාදී ඇති සහන පැකේජය පිළිබඳව ව්‍යාපාරිකයන්ට පැහැදිලි කරමින් ඔවුන්ට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට උපරිම සහය දක්වන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා එහිදී මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන්ට අයවිය යුතු මුදල් කිසිඳු ප‍්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන ලෙසද අගමැතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ශෙහාන් සේමසිංහ, ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් ද මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ආර් ආටිගල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වුහ.