‘ග්ලයිෆොසේට් යළි තහනම් කළ යුතුයි‘


(ඩයනා උදයංගනී)
         ඇමෙරිකා අධිකරණයක් මගින් ද ග්ලයිෆොසේට් වල්නාශක තහනම් කර ඇති බැවින් ශ්‍රී ලංකා රජය ද කල්පනා කර තීන්දුවක් ගත යුතු යැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

         ශ්‍රී ලංකා රජය ග්ලයිෆොසේට් සඳහා පැනවූ තහනම පසුව ඉවත්කිරීමට ගත් තීන්දුවට තමන් ද විරෝධය පළ කළ බව කී අමාත්‍යවරයා යළිත් එම තහනම පැනවිය යුතු බව ද සඳහන් කළේය.
         ඇමෙරිකාවේ එම තීන්දුව දුන් පිළිකා රෝගියෙකු පැනවූ නඩුවට අමතරව තව පෙත්සම් 482ක් ඇති බව කී අමාත්‍යවරයා එම පිළිකාවට හේතුව ග්ලයිෆොසේට් බව නඩු තීන්දුවෙන් කියැවී ඇතැයි ද ප‍්‍රකාශ කළේය.
         රබර්, තේ මොනවාට යෙදුවත් එම වල්නාශකය වාතාශ‍්‍රයෙන් පැතිරෙන නිසා ශරීරයට අහිතකර බව ද ඇමතිවරයා කීවේය.
         අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
         මීට පෙර ජනාධිපතිවරයා පැනවූ ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ නිල් ඇස්බැස්ටස් මේ වන විටත් තහනම් කර ඇති බවයි.