බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
ලොව සෙසු රටවල් සමඟ සැසඳීමේදී ජනමාධ්‍ය සම්බන්ධයෙන් කොළඹ ප්‍රකාශනය දියුණු සංවාදයක් යැයි ද වසර විස්සකට පසු ඒ සම්බන්ධයෙන් මේ අයුරින් නැවත හැරී බැලීමක් කිරීමට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය කළ මැදිහත්වීම වැදගත් යැයි ද කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටෝබි මෙන්ඩෙල් මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැසීය.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට විසි වසරක් සපිරීම නිමිත්තෙන් දින හතරක් තිස්සේ පැවැති ජාත්‍යන්තර සමුළුවේ සමාලෝචන කතාව කරමින් ටෝබි මෙන්ඩෙල් මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ආදී වශයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය පද්ධතියක් හැටියට මෙම සාකච්ඡාවට සම්බන්ධ වීම අවධානයට පාත්‍ර විය යුතු යැයි කී හෙතෙම රාජ්‍ය ජනමාධ්‍ය යන තේමාවෙන් ඔබ්බට ගොස් මහජන සේවා ජනමාධ්‍ය ගැන සමුළුවේදී කතාබහට ලක් වීම වැදගත් යැයි ද අවධාරණය කර කීය.
තොරතුරු සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹින් ඈත ගම් දනව්වලින් තොරතුරු දැනගැනීමේ පනත භාවිතයට දක්වන උනන්දුව ද අගය කළ යුතු යැයි ද ටෝබි මෙන්ඩෙල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 2018 සශෝධනයට එහි සිව් පාර්ශවකරුවන් විසින් අත්සන් තබනු ලැබීම ද එහිදී සිදු වූ අතර ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති රංජිත් විජයවර්ධන, ශ්‍රී ලංකා කර්තෘ සංදයේ සභාපති මණික් ද සිල්වා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩවත්ත හා ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් යන මහත්වරු ඊට අත්සන් තැබූහ.