‘කැලණි කල්‍යාණි’ කිරුළ මාලිනීට


කැලණිය ගුරුකුලයේ ඉගෙන ගන්නා පුංචි මාලනී සතුව තම කැමැත්තෙන්ම  ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන ලක්‍ෂණයක් තිබුණි. පුංචි දඟකාරිය තුළ කුලෑටි ගතියක් දකින්නට ලැබුණේම නැත. ඇය කි‍්‍රයාශීලි උනන්දු දැරිවියක වූවාය. දිනක්  ගුරුකුලයේදී තිලකරත්න ටීචර් මාලිනියට ඉංගී‍්‍රසි  කවියක් කියන්නට දුන්නාය. Where are you going my pretty maid? දඟකාරිය තුළ කුලෑටි ගතියක් ගෑවිලාවත් නැත. දැරිවිය හඬ නගා කවිය කීවාය. තිලකරත්න ටීචර්ට හරිම සතුටුය.  තිලකරත්න  ටීචර් මාලිනි වසර අවසානයේ  පැවැත්වෙන විවිධ ප‍්‍රසංගයට තෝරා ගත්තාය. පි‍්‍රටි මේඞ් වූයේ දඟ කෙල්ල මාලිනිය. කේ‍්‍රප් කොලවලින් රැළි කළ ගවුමක් හැඳ පුංචි දැරිය තමාගේ මුල්ම වේදිකා රංගනයෙ යෙදුනාය. කොහෙද යන්නේ රුක්මණී? කිරිගේන්න යන්නේ මං තාත්තා මොනවද කරන්නේ? ගොවිතැන් බත් කරනවා මේ ළමයා බඳිනදාට දෑවැද්දට දෙන්නේ මොනවාද? මගෙ මූණ තමයි  දෑවැද්දට දෙන්නේ. ඉතින් ඊට පස්සේ ‘කොල්ලා යන්ට යනවා මාව එපා කියලා. රංගනය නම් මාවත දිගේ පුංචි පුංචි  අඩි තියමින් ලොකු ගමනක් පැමිණි මාලිනියගේ ප‍්‍රථම රංගාභිෂේකය එය විය. දඟ මල්ලගේ දඟකාර කම් කෙළවරක්  නැත. අයියලා, මල්ලිලා සහෝදර කැල පිරිවරාගෙන මේ දඟ මල්ල කජුවතු ගානේ ඇවිද්දාය. අඹ, වෙරළු, පලතුරු ගස් පාමුල නැවතී  අඹ ගෙඩියක්, වෙරළු ගෙඩියක් කඩා ගන්නට ගස්වලට පොලූ ගැසුවාය. බයිසිකල් පැද්දාය. වෙල්යායේ දුව පනිමින් නටමින් දඟලමින්, වැටෙමින් උපරිම  සතුටකින් ළමාවියේ සුන්දරත්වය ආස්වාදය කළාය. මේ දඟමල්ල මෙල්ල කරන්නට ඇගේ අම්මා වරෙක රිදෙන්නටම පහරක් ගැසුවාය. පිටුවකින් දෙකකින් ලියන්ට බැරි තරම් රසවත් සිදුවීම්වලින් මාලිනියගේ ළමාවිය පිරී තිබේ. කොල්ලන් සමඟ ගහගන්නට, බැනගන්ට පවා නොපැකිලිව  පෙරට ගිය මේ දඟ මල්ල 1962 වසරේ එක් දවසකදී මල්වර නැකතින් පිපුණු මලක් බවට පත්වූවාය. නැකැත් බලන්නට ගියවිට කියැවුනේ අනාගතය පිළිබඳව සුබ කතාන්දරයකි. කේන්දරයේ හැටියට රජ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේම ප‍්‍රසිද්ධ කෙනෙක් වෙයි. නැකත්කරුවෝ කීහ. අම්මාට, තාත්තාට සතුටුවිය හැකි අනාගත ශුභාරංචියකි. ලා කහ පාට අලූත් ගවුමකින් සැරසී පුංචි දඟකාරිය මුතු කිරිල්ලියක සේ දොරට වැඩියාය. කැලණිය ගුරුකුලයට පැමිණි අලූත් නැටුම්  ගුරුවරයාවූ  එස්. මලල් ගුරුතුමාගේ හොඳම  ගෝලයා  බවට පත්වෙන්නට මාලිනීට වැඩි කලක් ගත වුයේ නැත. ලියවැලක් සේ රිද්මායානුකූලව තාලයට අඩි තියමින්ද  අතපය හසුරුවමින් ඉඟ  සුඟ  නටවන හුරුබුහුටි ශිෂ්‍යාවගේ නර්තන හැකියාව ගුරුකුලයේ මලල් සර් ඉතා ඉක්මනින් අවබෝධ කර ගත්තේය. ඒ 1963 ජූනි මස 5 වැනිදාය. වෙදමුල්ල ගමේ තරුණයන් ගජරාමෙට වෙහෙස මහන්සි වී කටයුතු කළේ කැලණියට තරු පා යයි උත්සවය වෙනුවෙනි. කැලණි  කල්‍යාණි ඒ උත්සවයේම  සුවිශේෂ  අංගයක් විය. ඒ තරගය වෙන්කර තිබුණේ ගමේ ලස්සන යුවතිය තෝරා ඇයට ඔටුණු පළඳවන්ටය. ඒත් හැඩරුව ඇති තම දියණිය මේ තරගයට යනවාට අම්මාගේ එතරම් කැමැත්තක් නැත. මුලදී මාලිනියද එහෙන් මෙහෙන් අකමැත්ත ප‍්‍රකාශ කළත් පසුව මාලිනිය ඇවිටිල්ලකින් තොරව කැලණි කල්‍යාණි තරගයට  ඉදිරිපත් වූවාය. අවුරුදු 16ක පුංචි කෙල්ල මින් පෙර සාරියක් ඇඳ තිබුණේ  නැත. කොණ්ඩයත්  දිග මදිය. අසල්වැසි ප‍්‍රනාන්දු ඇන්ටි ඒ කඩිමුඩියේ  මාලිනියට සාරියක් අන්දවා  හැඩවැඩ  කිරීමේ කටයුත්ත බාර ගත්තාය. ජීවිතයේ පළමු වතාවට මාලිනි අත් කපපු කළුපාට හැට්ටයකින්  හා සාරියකින් සැරසුනාය. වේදිකාව නුහුරු නොවුණත් ගමේ දන්නා කියන උදවිය මැද වේදිකාවට ගොඩවෙද්දී යුවතියගේ සිත තරමක් තිගැස්සිණි. වට කිහිපයකින් යුත් තරගයේදී මාලිනි අවසන් වටයටද තේරුණාය. ඇන්ද සාරිය, බැන්ද හවරිය මේ වනවිටත් ඒ සියල්ල නුහුරු නුපුරුදු මාලනියට මහා වදයක් වී තිබුණි. තවත් තත්පර කීපයක් ගෙවී ගියේය. තිගැස්ම, පුදුමය සමඟ සම්මිශ‍්‍රණයවූ නොඉවසිළිමත් තත්පර කිහිපයක්  ගෙවී යද්දී කැලණි කළ්‍යාණි තරගයේ ප‍්‍රතිඵල සටහන නිවේදනය කෙරුණි. කැලණි කල්‍යාණි ලෙස ඔටුණු පැළැඳීමට වරම් ලබා තිබුනේ මාලිනීය. අත්පොළසන් හඬ නිමක් නැත. ඉවරයක් නැත.  මාලනිගේ අම්මාගේ සිතද සතුටකින් පිරී ගියාය. වටිනා ත්‍යාගයක්ද කිරුළු පළන් කැලණි කුමරියට හිමිවී තිබුණි. ඒ රිදී ඩෙසර්ට් කප් සෙට්  එකකි. මාලිනියගේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඊළඟ සතියේදී. මනෝහාරි  හේවාවසම් ගේ මාලිනී අභිනය පෙළහර නම් ග‍්‍රන්ථයද පාදක කර ගැනුණි.
සටහන - සංජීවිකා සමරතුංග

පුංච් කාලෙ මම හරිම දඟ මල්ලක් (මගේ කතාව 1)

කැලණි කල්‍යාණි ලෙස කිරුළ පැළඳි දින දොරට වැඩිය මුතු කිරිල්ලි